රනිල් ප්‍රජාතන්ත්‍රවාදය ගබ්සා කොට කෝටි 72ක මහජන ධනය විනාශ කළා…! – ඩලස් අධිකරණයට…

December 9, 2024 at 4:49 pm | by emanisa.lk

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මැතිවරණය කල්දැමීම සාමුහික දුෂණයකට පසුව කරනු ලැබු දේශපාලනික ගබ්සාවක් සේම මූල්‍යමය වශයෙන් කළ ආර්ථික ඝාතනයක් බව නිදහස් ජනතා සභාව පවසයි.

එහි නායක ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජනාධිපති, විපක්ෂ නායක, ඇතුළු සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙන්ම අල්ලස් හා දුෂණ කොමිසම වෙත ලිපියක් යොමුකරමින් මේ බව සඳහන් කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම නිසා ඊට වැයකරන ලද රුපියල් කෝටි 72කට වැඩි මුදල අපතේ යෑම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද සූදානම් බව නිදහස ජනතා සභාවේ නායක ඩලස් අලහප්පෙරුම මහතා සිය ලිපියෙන් පෙන්වාදෙයි.

ඔහු පවසන්නේ එම මුදල අදාළ තීන්දුව ගත් පාලකයින්ගෙන් අයකර ගන්නා ලෙස ඉල්ලමින් මෙලෙස ක්‍රියාමාර්ගවලට එළැඹෙන බවයි.

‘ප්‍රජාතන්ත්‍රවාදය ගබ්සා කිරීමේ මිල ගෙවන්න; ජනාධිපති රනිල්ට අපරාධ චෝදනාවක්’ යනුවෙන් ශීර්ෂපාඨ සහිතව ලියා දක්වා ඇති එම ලිපිය තුළින් සිදුවීම් ගණනාවක් පිළිබඳ කරුණු දක්වා තිබේ.

වර්තමාන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මෙම ආර්ථික ඝාතකයන්ට එරෙහිව ගන්නා ක්‍රියාමාර්ග කුමක්දැයි උපේක්ෂාවෙන් බලා සිටින බව ද අදාළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ.

එමෙන්ම තමා විසින් අපතේ දැමූ ජනතා බදු මුදල් නැවත ජනතා සන්තක කරමින් දේශපාලන ඉතිහාසයට ශිෂ්ඨ සහ ශීලාචාර පරිච්ඡේදයක් එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අවශ්‍ය තරම් කාලය ඉතුරුව තිබෙන බවද එම ලිපිය මඟින් අවධාරණය කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *