දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් සිසුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ පියවරක් ලෙස හෙට (27) දින දිවයිනේ සියලුම පාසල් වසා තැබීමට තීරණය කළ බව අධ්යාපන, උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරයි.
අමාත්යාංශ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව අද (26) නිකුත් කළ විශේෂ මාධ්ය නිවේදනයක දැක්වෙන්නේ, මෙම තීරණය හෙට දිනට පමණක් සීමා වන බවයි.
කෙසේ වෙතත්, පාසල් පැවැත්වීම අත්හිටුවුවද මේ දිනවල ක්රියාත්මක වන අධ්යයන පොදු සහතික පත්ර (සාමාන්ය පෙළ) විභාගයේ සෞන්දර්ය විෂයයන්ට අදාළ ප්රායෝගික පරීක්ෂණ කටයුතු පෙර සැලසුම් කර තිබූ පරිදිම බාධාවකින් තොරව පැවැත්වෙන බවද එම නිවේදනය මඟින් අවධාරණය කර තිබේ.
දිවයින ආශ්රිතව පවතින සක්රීය කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්රදේශ රැසකට ඇදහැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන් සලකා, ප්රාදේශීය මට්ටමින් පාසල් පැවැත්වීම පිළිබඳ තීරණ ගැනීමේ බලය මීට පෙර පළාත් අධ්යාපන ලේකම්වරුන් හා අධ්යක්ෂවරුන් වෙත පවරා තිබිණි.
ඒ අනුව දිස්ත්රික්ක කිහිපයක පාසල් වසා දැමීමට පළාත් බලධාරීන් පියවර ගෙන තිබූ පසුබිමක, සමස්ත දිවයින පුරාම කාලගුණික තත්ත්වය අවදානම් මට්ටමක පැවතීම සැලකිල්ලට ගනිමින් අධ්යාපන අමාත්යාංශය විසින් මෙම තීරණය ප්රකාශයට පත් කර ඇත