කඩුවෙල මහා නගර සභාවේ නගරාධිපති රංජන් ජයලාල් උත්සව සමයේ තෑගි පාර්සල් ඉල්ලා සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
දූෂණය, වංචාව, හොරකම, අල්ලස සහ පගාව පිටුදැකීම සඳහා ජනතාව මෙම ආණ්ඩුවට බලය ලබාදී ඇති බවත්, මහජන නියෝජිතයන් ලෙස පළමුව නීතියට යටත් විය යුත්තේ තමන් බවත් ඇමති හඳුන්නෙත්ති පෙන්වා දෙයි.
”රංජන් ජයලාල් කඩුවෙල නගරාධිපතිවරයා කරපු ප්‍රකාශය අපි සම්පූර්ණ හෙළා දකිනවා. ජනතා විමුක්ති පෙරමුණවත්, ජාතික ජන බලවේගයවත්, අපේ ප්රාදේශිකයෙක්වත්, හිතවතෙක්වත් ඒක පිළිගත යුතු ප්‍රකාශයක් නෙමෙයි. ඒක පෞද්ගලිකවත් කළ යුතු ප්‍රකාශයක් නෙමෙයි.
ඒක මොළේ මොකක් හරි අසනීපයක් නිසා කියන කතාවක්. අපිට ලැබිලා තියෙන මේ ජනවරමේ විශේෂත්වයක් අපි තේරුම් ගන්න ඕනේ. අපි මහජන නියෝජිතයෝ හැටියට ජනතාව තෝරගෙන තියෙන්නේ විශේෂ හේතුවක් නිසා. කලින් පැවතුන ආණ්ඩුව විසින් කරපු දූෂණ, වංචා, හොරකම්, අල්ලස්, පගාව පිටුදකින්න.”
පෙර පැවති ආණ්ඩු කාලවලදී ලබාදුන් තෑගි භෝග සහ වෙනත් පහසුකම් තමන්ටත් ලබාදෙන ලෙස වක්‍රාකාරයෙන් හෝ ප්‍රකාශ කිරීම අල්ලස් ඉල්ලීමක් ලෙස සැලකිය හැකි බවද ඔහු සඳහන් කළා.
එමෙන්ම, මෙවැනි ප්‍රකාශ ඉදිරියේදී පක්ෂයේ කිසිවෙකු විසින් හෝ සිදු නොකළ යුතු බවට තමන් යෝජනා කර ඇති බවත්, නීතියට පටහැනි ක්‍රියාවලට නීතිය ක්‍රියාත්මක කරනවා සේම පක්ෂ විනය යටතේද අදාළ ක්‍රියාමාර්ග ගත යුතු බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
තමන් අතින් සිදුවූ වරද රංජන් ජයලාල් ප්‍රසිද්ධියේ නිවැරදි කරගත යුත්තේ බවද ජන වරමක් යනු ජනතාවට ඉහළින් සිට පහසුකම් භුක්ති විඳීමේ බලපත්‍රයක් නොවන බවද සුනිල් හඳුන්නෙත්ති අවධාරණය කරයි.