යල කන්නේ සරු කරන්න රණවිරුවන් පෙරට…! ගොවීන් සමඟ හමුදාව කුඹුරට බහින්න සූදානම්…!

February 12, 2022 at 7:32 pm | by emanisa.lk

ඉදිරි යල කන්නයේ දී ගොවීන්ට උපරිම ලෙස සහය වීම සඳහා රට පුරා සෑම කුඹුරකට සහ වගාබිමකටම හමුදා නිලධාරියකු බැගින් යොමු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

මෙරට කෘෂිකර්මාන්තය ඉහළ ම තැනකට එසවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විශේෂ උපදෙස් මත තමා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව පැවසූ යුද හමුදාපතිවරයා වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සියලු සැලසුම් සකසා අවසන් කර ඇතැයි ද සඳහන් කළේය.

කෘෂිකර්මයට සම්බන්ධ ආයතන සහ නිලධාරින් සමඟ සම්බන්ධ වී ගොවීන්ට පොහොර සැපයීමේ සිට අස්වැන්න ලබාගැනීම දක්වාවූ සියලු කටයුතු සඳහා විවිධාකාරයට උදව් කිරිම මෙම හමුදා නිලධාරීන්ට පැවරෙන වගකීම බව ද ශවේන්ද්‍ර සිල්වා කීවේය.

කොවිඩ් එන්නත්කරණයේ දී උපරිම ලෙස දායකත්වය දැක්වූ ආකාරයට ම රටේ කෘෂිකර්මාන්තය ඉහළ නැංවීම සඳහා ද ඉහළම දායකත්වය දැක්වීමට යුද හමුදාව සූදානම් බවත් ජනාධිපතිවරයා ඒ සඳහා තමාට අවශ්‍ය උපදෙස් සියල්ල ලබාදී ඇති බවත් යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළේය.

කෘෂි කර්මාන්තය ඉහළ නැංවීම සඳහා විවිධ පාර්ශ්ව ඉදිරිපත් කර ඇති යෝජනා ද මෙහිදී සැලකිල්ලට ගන්නා බව පැවසූ හමුදාපතිවරයා උතුරු නැගෙනහිර ඇතුළු තෝරාගත් බිම් ප්‍රදේශවල යුදහමුදා සාමාජිකයන් යොදවා විවිධ වගා ව්‍යාපෘති දැනටමත් අරඹා ඇතැයිද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *