මේක රණවිරුවාගේ පදක්කමටත් තහඩු කෑල්ල කියලා ගරහන ආණ්ඩුවක්…! – නාමල් රාජපක්ෂ….

July 6, 2026 at 10:29 am | by emanisa.lk

අධිවේගී මාර්ග හැදූ විට බල්ලන්ට පාර මාරුවීමට නොහැකි යැයි කී වර්තමාන ජනාධිපතිවරයාට එම සංවර්ධන ව්‍යාපාෘතිවල ප්‍රතිඵල රටේ ජනතාවට ලබාදිය හැකි දැයි ප්‍රශ්න කිරීම පවා නිශ්ඵල යැයි ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

“අද අපි ඔබ හම්බවෙන්නෙ මේ මැතිවරණ කාලෙක නෙවෙයි. තාම මැතිවරණයක් සම්බන්ධයෙන් ආණ්ඩුවට අදහසක් නෑ. මොකද ආණ්ඩුව දන්නවා ඡන්දෙකට ගියොත්, පළාත් සභා එහෙම තිබ්බොත් රිදෙනවා. හැබැයි අද අපි ගමෙන් ගමට යනකොට අපේ හාමුදුරුවනේ, හැම ගමකම ජනතාව අපි එක්ක අත්වැල් බැඳගන්නවා. අපිට ඡන්දය දීපු, නොදීපු, පහුගිය මැතිවරණවල හිත් බිඳිලා, රිදිලා හිටපු, අපෙන් ඈත් වෙච්ච, වර්තමාන ආණ්ඩුවෙන් යම් වෙනසක් බලාපොරොත්තු වෙච්ච තරුණයෝ, වැඩිහිටියෝ, බොහෝ පිරිසක් අද අපි එක්ක එකතු වෙනවා. ඒ විශ්වාසය මත.මොකද අපි වැඩ කරපු දේශපාලන පක්ෂයක්. සහ අපි කියපු දේ කරලා තියෙනවා. කියපු දේ කරලා තියෙනවා.

​අද මේ ගම්වලට ආවහම, මේ ගමක දකින්න තියෙන සංවර්ධනය අපේ ආණ්ඩුවලින් කරපුවා. හැබැයි එදා ජේ.වී.පී. එක මොකක්ද කරේ ඒ හැම සංවර්ධනයක්ම නවත්තන්න උපරිම උත්සාහ කරා. ඒ හැම සංවර්ධනයක්ම නවත්තන්න උපරිම උත්සාහ කරා පමණක් නෙවෙයි, ඒ සංවර්ධන ව්‍යාපෘති හැම එකක්ම හොර ව්‍යාපෘති කියලා හංවඩු ගැහුවා. කොළඹ වරාය නගරය හදන්න සීගිරියත් කඩන්න ඕනේ කියලා කිව්වා.මම සතුටු වෙනවා එහෙම කියපු ජනාධිපතිවරයා අද තමන් යන හැම විදේශ සංචාරයකදීම පෝට් සිටි එක ගැන කතා කරනවා. ඒකට ආයෝජකයන්ට එන්න කියනවා, ඒක හොඳයි. මම සතුටු වෙනවා ඒක ගැන, මොකද එතුමා අද වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා පිළිගන්නවා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හදපු කොළඹ වරාය නගරය තමයි මේ රටේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් වෙන්න පුළුවන් කියලා.

​වරාය හදනකොට ගල් තියෙනවා කියලා කිව්වා. උමා ඔයේ හිලක් තියෙනවා කියලා කිව්වා. නෙළුම් කුළුණ හදන්නෙ උඩට ගිහිල්ලා පනින්නද කියලා ඇහුවා. අද එහෙම කියපු අය තමන්ගේ සංවර්ධන වැඩපිළිවෙළ ඇතුළේ මේවා ගැන කතා කිරීම ගැන අපි සතුටු වෙන්න ඕනේ. හැබැයි අවාසනාවකට මේ අයට මේවයේ උපරිම ප්‍රයෝජන ගන්න තාම තේරෙන්නේ නෑ. මේවයේ ප්‍රතිලාභ ගමේ ජනතාවට, දෙනියායේ දරුවාට, කොටපොළ දරුවාට ලබා දෙන්න පුළුවන් සැලැස්මක් අද ආණ්ඩුවට නෑ. ඒ දැක්ම ආණ්ඩුවට නෑ.

​අධිවේගී මාර්ගය හැදුවහම බල්ලන්ට බළලුන්ට පාර මාරු වෙන්න බැහැයි කියපු නායකයෙක් අද ඉන්නේ. එහෙම නායකයෙක්ට මේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ගම්වල දෙමාපියන්ගේ දරුවන්ට ලබා දෙන්න පුළුවන් දැක්මක් තියෙනවද නැද්ද කියන ප්‍රශ්නය අපි ඔවුන්ගෙන් අහලා වැඩක් වෙන්නේ නෑ. අද එක පැත්තකින් මහා සංඝරත්නයට අපහස කරනවා.ආගමික නායකයෝ විවේචනය කරද්දී, ඉලක්ක සහගතව ගරුතර මහා සංඝරත්නයේ, සම්බුද්ධ ශාසනයට අගෞරව කරද්දී, ආණ්ඩුවේ දේශපාලන ව්‍යාපාරය ඇතුළේ, ආණ්ඩුවේ ජේ.වී.පී. එකේ දේශපාලන දැක්ම ඇතුළේ, ආගමෙන් දහමෙන් දරුවෝ ඈත් කරලා තමන්ගේ දේශපාලන ව්‍යාපාරයේ න්‍යාය පත්‍රය උපරිම ක්‍රියාත්මක කරන්න ආණ්ඩුව උත්සාහ කරනවා.

​මං දැක්කා එක නිලධාරියෙක්, ලංකාවේ ප්‍රධාන පෙළේ නිලධාරියෙක්, රණවිරුවන්ගේ මෙඩල් එක ගැන තහඩු කෑල්ලකට සීමා කරනවා. ටයි එකයි කෝට් එකයි දාගෙන, ටයි එකයි කෝට් එකයි ඇඳගෙන, හමුදාවෙන් හෝ එස්.ටී.එෆ්. එකෙන් හරි පොලීසියෙන් ආරක්ෂක භටයොත් අරගෙන කොළඹ අවට ඇවිදින මහත්වරුන්ට ඔවුන් ලබපු අභිමානය සහ ඔවුන් කරපු කැපවීම යකඩ තහඩුවක් වගේ පේන්න පුළුවන්.

ඒක කොළඹ හතේ, කොළඹ වටේ ටයි එකයි කෝට් එකයි ඇඳගෙන රණවිරුවන්ගෙම ආරක්ෂාව අරගෙන, එස්.ටී.එෆ්. එකෙන් ආරක්ෂාව අරගෙන, පොලීසියෙන් ආරක්ෂාව අරගෙන යන ඔන්න ඔය විදිහට මහත්තයෙක්ට ඒක යකඩ කෑල්ලක් වගේ පේන්න පුළුවන්. හැබැයි ඒ පදක්කම පිටිපස්සේ, මෙඩ්ල් එක පිටිපස්සේ, ඒ මහත්තයා දකින විදිහට යකඩ කෑල්ල පිටිපස්සේ ඔවුන්ගේ ජීවිතයත් මරණයත් අතර සටන.

රණවිරුවෝ ජීවිත කැප කරලා ලබාගත්තු ජයග්‍රහණ හෑල්ලුවට දානවා. රණවිරුවාගේ පදක්කම, රණවිරුවාගේ ලාංඡනය, රණවිරුවාගේ පදක්කම, රණවිරුවා ලබාපු අභිමානය ඔවුන්ගේ දරුවන්ට, මුනුපුරන්ට, මිනිපිරියන්ට ආඩම්බරයෙන් පෙන්නන්න තියෙන පදක්කමට මොකක්ද කියන්නේ?යකඩ කෑල්ලක්.

​අද මේ රටේ හැම අම්මා කෙනෙකුගෙම දරුවෙක් නිදහසේ හුස්ම ගන්න, ඒ හැම හුස්ම පොදක්ම, අද මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ, දෙමාපියන්ගේ දරුවන්, වැඩිහිටියන් නිදහසේ ජීවත් වෙනවා. රණබිමේ ලේ හලපු හැම රණවිරුවෙක්ම, ආබාධිත තත්ත්වයට ලක්වෙච්ච හැම රණවිරුවෙක්ටම ඒ වටිනාකමක් තියෙන, වටිනාකමක් දීපු යකඩ කෑල්ලක් කියන එක ඒ අයට අමතකයි.”

නාමල් රාජපක්ෂ මේ බව ප්‍රකාශ කලේ පසුගියදා (04) මාතර කොටපොළ පැවති ජනහමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස