මිය ගිය ඥාතීන් සමරන්න පුළුවන්… හැබැයි මහවිරු කොටි සැමරුම් වානා…! – පොලිස් ඇමති

November 24, 2024 at 12:29 pm | by emanisa.lk

උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිපත් කිරීමට ඉඩ ඇති නමුත් LTTE ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ පින්තූර භාවිත කරමින් මහවිරු සැමරුම් පැවැත්වීමට ඉඩක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.

“නීත්‍යානුකූලව තමන්ගේ ඥාතියෙකුගේ මිය යාම සමරන්න ඉඩ තියෙනවා. එහෙත් LTTE ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ එහි පින්තූර භාවිත කරමින් උතුරේ මහවිරු සැමරුම් කරන්න ඉඩකඩක් නෑ. රටේ නීතියක් තියෙනවා, නීතියට අනුව LTTE සංවිධානය තහනම් සංවිධානයක්.

හැබැයි ඕනෑම උතුර වේවා, නැගෙනහිර වේවා, දකුණ වේවා, කඳුරට වේවා, තමන්ගෙ දරුවෙක් මිය ගියා නම් ඒ දරුවා සිහිපත් කිරීමේ අයිතිය තියෙනවා. ඒ හරහා සමාජයට ඒත්තු යන්න අවශ්‍ය වෙන්නෙ නෑ සංවිධාන හැටියට තහනම් කරපු සංවිධාන යළි ස්මරණය කරමින් යළි ඔවුන්ගේ සංවිධානවල ආධිපත්‍ය යළි ස්ථාපිත කරන්න.

අපි කාටවත් බාධා කරලා නෑ තමන්ගෙ මියගිය ඥාතියා සිහිපත් කරන්න. ඒ හින්දා මං හිතන්නෙ බොහෝ විට මේ උතුරේ ජනතාව සමහර අවස්ථාවලදී ඥාතීන් සිහිපත් කිරීම වෙනත් අර්ථකථනයක් දෙමින් සමාජයේ උඩට ගෙනැවිල්ලා තිබෙනවා.

නමුත් අපි රටට අවධාරණය කරන්න කැමතියි LTTE සංවිධානය තහනම් සංවිධානයක්, ඔවුන්ට ඉඩකඩක් නෑ ඔවුන්ගෙ ලාංඡන, නිල ඇඳුම්, බැනර් යොදාගනිමින් මහවිරු සැමරුම් කරන්න. එහෙත් අපි කිසිවිටෙක බාධාවක් කරන්නෙ නෑ මේ රටේ කිසිදු පුද්ගලයකුගේ මියගිය ඥාතියෙකු සිහිපත් කිරීමට.”

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මේ බව පැවසුවේ ඊයේ (23) ගල්ගමුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *