ජනගහනය මිලියන 22ක් වන රටේ වසරකට රාජ්‍ය සහ පෞද්ගලික අංශ රෝහල්ව බාහිර රෝගී අංශයෙන් මිලියන 80ක් බෙහෙත් ලබා ගන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.
බෙහෙත් ලබා ගැනීමේ කිසිදු ප්‍රමිතියක් නිර්දේශයක් නොමැති බවටත් පොළට ආවත් හන්දියට ආවත් ජනතාව රෝහලට පැමිණ බෙහෙත් ලබා ගන්නා බවටත් ජනාධිපතිවරයා චෝදනා කරයි.
ලබන වසරේදී පවුලට වෛද්‍යවරයෙක් දීමේ ක්‍රමවේදය යටතේ ප්‍රාථමික වෛද්‍යවරයෙකු සිටින ආරෝග්‍යා මධ්‍යස්ථාන 1000ක් තැනීමට කටයුතු කර ඇති බවද හෙතෙම ප්‍රකාශ කරයි.
මින් ඉදිරියට තමන්ට හිතුණු හිතුණු ආකාරයට කිසිවෙකුට රෝහලට පැමිණිය නොහැකි බවත් ඒ සඳහා ආරෝග්‍යා මධ්‍යස්ථානයේ වෛද්‍ය නිර්දේශය අනිවාර්ය බවත් ජනාධිපති අනුර දිසානායක සඳහන් කරයි.
ජනතාව කොත්තමල්ලි ටිකක් බී නිවසට වී විවේක ගතයුතු බව කියන්නේ නම් එය කළයුතු බවත් දවස් තුනක් සඳහා බෙහෙත් ලබා ගත්තද ජනතාව ඒවා නිසි ලෙස භාවිත නොකර නාස්ති කරන බවද එම සංස්කෘතිය වෙනස් කළ යුතු බවද එතුමා අවධාරණය කරයි.
ඊයේ (07) බේරුවල ජනහමුව අමතමින් ජනාධිපති අනුර දිසානායක මේ බව කීය.