මාලිමා ඩෝබිවරු මාව හිරේ අරින්න වහසි බස් දෙඩුවත් නඩු දෙකෙන්ම මං නිදොස් කොට නිදහස්…! – උදය ගම්මන්පිල..

September 30, 2026 at 10:41 am | by emanisa.lk

තමන්ව පීඩාවට පත්කිරීමේ අරමුණින් තම දේශපාලන විරුද්ධවාදීන් එකම සිද්ධියකට අදාළව නඩු දෙකක් පැවරූ නමුත් තමන් ඒ නඩු දෙකෙන්ම අවසානයේදී තමා නිදොස්කොට නිදහස් වූ බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

“කූට ඇටර්නි බලපත්‍රයක් භාවිත කරලා කොටස් විකිණීමක් පිළිබඳව තිබුණු දෙවැනි නඩුවෙනුත් අද දින මාව නිදොස්කොට නිදහස් කළා. මේ සම්බන්ධයෙන් නඩු දෙකක් වුණේ එකම නඩුව දෙකට කඩලා මාව පීඩාවට පත්කිරීමේ අරමුණින් තමයි නඩු දෙකක් ගොනුකරලා තිබුණේ. පහුගිය කාලේ මාලිමා ඩෝබි බලකාය මේ නඩුවෙන් මාව හිරේ දානවා කියලා සමාජ මාධ්‍ය පුරා වහසි බස් දොඩලා තිබුණා. නමුත් අවසානයේදී යුක්තිය ජයගත්තා.

මගේ වසර 27ක දේශපාලන ජීවිතය පුරාවට හොරකමක්, මැරකමක්, සල්ලාලකමක් පිළිබඳව මට සතුරෙක්වත් චෝදනා නඟලා තිබුණේ නෑ. ඒ නිසා තමයි මට එරෙහිව පැමිණීල්ලක් කරන්න කිසිවෙක් ලංකාවෙන් සොයාගන්න බැරිව, ඔස්ට්‍රේලියානු අධිකරණය ඉදිරියේ බංකොලොත්භාවය ප්‍රකාශයට පත්කරපු, වංචාවලට වැරදිකරු වුණු වයසක සීයා කෙනෙක්ව ලංකාවට ගෙනල්ලා පැමිණිල්ලක් කිරීමට මගේ විරුද්ධවාදීන්ට සිදුවුණේ.

අද නඩු තීන්දුවෙදීම සඳහන් වුණු පරිදි ඔහු තමන්ගේ බිරිඳගේ අත්සන පවා හොරට ගහලා අධිකරණයේ වැරදිකරු බවට පත්වුණු වංචනිකයෙක්. මේක ද්වේශසහගත නඩු පැවරීමක් කියන එක අධිකරණය විසින්ම තීරණය කරලා තියෙන නිසා දේශපාලකයින්, සමහර පොලිස් නිලධාරීන්, සමහර නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් අල්ලාගෙන මේ නීතිය අවභාවිත කරන ආකාරය රටට හෙළිකරන්න ‘මගේ අවනඩුව’ නමින් මම ඉදිරියේදී පොතක් ප්‍රසිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා.”

උදය ගම්මන්පිල මේ බව පැවසුවේ ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකුට අයත් සමාගම් කොටස් අයුතු ලෙස පරිහරණය කර රුපියල් මිලියන 21ක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩ කළ බවට ගොනුකර තිබූ නඩුවෙන් නිදොස්කොට නිදහස් වීමෙන් අනතුරුව ඊයේ (29) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස