ශ්‍රී ලංකා පරිපාලන සේවයේ (SLAS) විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට කටයුතු කර ඇති බවට ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා වරදකරු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කර තිබේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් නීත්‍යානුකූලව අදාළ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ලෙස පත් කර සිටි පෙත්සම්කාර නිලධාරියාට, ඔහුගේ සේවය තමන්ට අනවශ්‍ය බව පවසා අත්තනෝමතික ලෙස කාර්යාලයෙන් පිටව යන ලෙස දැනුම් දීම මඟින් අමාත්‍යාංශ ලේකම්වරයා මෙම බරපතළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සිදු කර ඇති බව අධිකරණය පෙන්වා දුන්නේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ආචාර්ය සෝභිත රාජකරුණා සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගේ එකඟත්වය සහිතව, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා විසින් මෙම නඩු තීන්දුව විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත් කරන ලදී.
නඩු තීන්දුවේ සඳහන් වන කරුණුවලට අනුව, වසර 30කට අධික දීර්ඝ රාජ්‍ය සේවා පළපුරුද්දක් සහිත ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් 2024 දෙසැම්බර් 18 වන දින නිකුත් කළ නිල ලිපියක් මඟින් ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තනතුරට පත් කර ඇත.
ඒ අනුව එදිනම පෙරවරුවේ සේවයට වාර්තා කර සිටි පෙත්සම්කරුගේ නිල කාමරයට දහවල් 12.30ට පමණ කඩා වැදී ඇති අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා, ඔහුගේ සේවය තමන්ට අවශ්‍ය නොවන බැවින් වහාම කාර්යාලයෙන් පිටව යන ලෙස දන්වා තිබේ.
උසස් රාජ්‍ය නිලධාරියකුට නොගැලපෙන මෙම අත්තනෝමතික සහ නින්දිත ක්‍රියාව හේතුවෙන් තමා සමාජය හා වෘත්තීය සගයන් ඉදිරියේ දැඩි අවමානයට, අපහසුතාවයට සහ මානසික කනස්සල්ලට පත් වූ බවත්, එමඟින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඉල්ලමින් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට පැමිණ තිබුණි.
මෙහිදී තීන්දුව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය දැඩි ලෙස පෙන්වා දුන්නේ වගඋත්තරකාර ලේකම්වරයා විසින් මිනිසෙකු මෙන්ම උසස් රාජ්‍ය නිලධාරියෙකු ලෙස පෙත්සම්කරුට තිබිය යුතු ගෞරවනීය අයිතිය සහ වෘත්තීය අභිමානය මුළුමනින්ම උල්ලංඝනය කර ඇති බවයි. මෙම අදූරදර්ශී ක්‍රියාව හේතුවෙන් පෙත්සම්කාර ජ්‍යෙෂ්ඨ නිලධාරියාට පොදු සමාජය තුළ අත්විඳීමට සිදු වූ අගෞරවය හා නින්දාව මින් ඉදිරියට කිසිදු ආකාරයකින් යථා තත්ත්වයකට පත් කළ නොහැකි එකක් බවද විනිසුරු මඬුල්ල අවධාරණය කළේය.
මෙහි ඇති නීතිමය තත්ත්වය පැහැදිලි කරමින් විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා සඳහන් කළේ, 2022 දෙසැම්බර් 14 දිනැති අංක 2310/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ ප්‍රකාශිත රාජ්‍ය සේවා කොමිෂන් සභා ක්‍රියා පටිපාටික රීතිවල 107 වන රීතියට අනුව, අමාත්‍යාංශයක අතිරේක ලේකම්වරයෙකු පත් කිරීමේ හෝ ඉවත් කිරීමේ පූර්ණ හා නෛතික බලය පැවරී ඇත්තේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට (PSC) පමණක් බවයි. ඒ අනුව, රාජ්‍ය සේවා කොමිසමේ බලතල තමන් අතට ගනිමින්, අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සිදුකර ඇති මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී සහ බලතල අතික්‍රමණය කිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් තීන්දු කර සිටියේය.