මාලිමාව විවාදය මගහැර පළා යෑම තරයේ හෙළා දකිනවා…! – සජබ…

April 10, 2024 at 10:58 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් තිදෙනා විසින් ජාතික ජනබලවේගයේ ආර්ථික සම්පාදකයින් තිදෙනාට රටේ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ විවාදයන් සඳහා සිදුකළ අභියෝගය මගහැරීමේ ප්‍රයත්නය දැඩි ලෙස හෙළා දකින බව සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයින් සහ අනාගතයේ ජාතික ජන බලවේග ආණ්ඩුවක මුදල් අමාත්‍ය ධුරයට යෝජනා කරනු ලබන්නේ යැයි අනුර කුමාර දිසානායක මහතා හඳුන්වා දුන් පිරිස මෙම විවාදය මඟහරිමින් අනුර කුමාර දිසානායක මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර විවාදයකට සූදානම් යැයි පැවසීම ප්‍රශ්න සහගතය.

එම කණ්ඩායම අපගේ ආර්ථික ප්‍රතිපත්ති සම්පාදක කණ්ඩායම වන කබීර් හෂීම්, ඉරාන් වික්‍රමරත්න සහ ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන්ට මුහුණදීමට නොහැකි නම් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිටිමු.

දැන් මෙම විවාදය සජිත් – අනුර -රනිල් යන ජනාධිපති අපේක්ෂකයින් අතර කළ යුතු යැයි ඔවුන් කරනු ලබන යෝජනාව පුදුම සහගතය. රනිල් වික්‍රමසිංහ මහතා කුමන පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ද යන්න ඔවුන් හෙළි කළ යුතුය. එසේ නොමැතිව නොකෙරෙන වෙදකමට කෝඳුරුතෙල් හත්පට්ටයක් සහ තවත් තෙල් බිඳක් නොසොයන ලෙස දැනුම් දෙනු කැමැත්තෙමි. එමෙන්ම සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් සමග විවාදට එකඟ වූයේ කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව බව ද අවධාරණය කරමි.

මෙම විවාද දෙක පැවැත්වීමට සුදුසුම කාලය ලෙස මැයි මාසය බව අපි යෝජනා කරමු. පළමුව ආර්ථික කම්ටුවේ සාමාජිකයන් අතරත්, ඉන්පසු නායකයින් අතරත් විවාදය පැවැත්වෙන දිනයන් එක විටම තීරණය කර ප්‍රකාශයට පත් කළ යුතුය. පළමුව ආර්ථික ප්‍රතිපත්ති සම්පාදන කමිටුව අතර විවාදයත් දෙවනුව සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක යන මහත්වරුන් සමගත් විවාදය රටේ ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍යය, නීතියේ ආධිපත්‍ය, විදෙස් ප්‍රතිපත්තිය ඇතුළු පුළුල් පරාසයක විවාදයකට අපි සූදානම් බව දැනුම් දෙමු.

විවාදය පවත්වනු ලබන ස්ථානය, නාලිකාව හෝ නාලිකාවන් පිළිබඳව දෙපාර්ශ්වයටම පොදු එකඟතාවකින් තීරණය කිරීමට පුළුවන.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *