මාලිමාණ්ඩුව වෛද්‍ය ස්ථාන මාරුවටත් අත තබයි… පුනරුදය පැතූ GMOA අසරණව විරෝධයේ….!

October 7, 2025 at 10:00 am | by emanisa.lk

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාවලියට දැඩි දේශපාලන මැදිහත් වීමක් සිදුවන බවත් රජය ගෙන ඇති මෙම තීන්දුව සම්බන්ධයෙන් දැඩි විරෝධය එල්ල කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ රෝහල් පරිපාලන කටයුතු සහ ස්ථාන මාරු ක්‍රියාවලිය නීතිමය ක්‍රමවේදයට අනුකූලව නොව දේශපාලන බලපෑම් යටතේ සිදු වීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරන බවයි.

ඒ අනුව, දෙහිඅත්තකණ්ඩිය මූලික රෝහලට අදාළව සිදු වූ අසාධාරණ ස්ථාන මාරු කටයුතු හේතුවෙන් රෝහල් පරිපාලනයට දේශපාලනික අතපෙවීම් සිදුව ඇති බව වෛද්‍ය සංගමය පෙන්වා දෙයි.

මෙම ගැටලුවට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කඩිනමින් සාධනීය විසඳුමක් ලබා නොදීම නිසා වෛද්‍ය සංගමය විසින් විරෝධතා තවත් තීව්‍ර කිරීමට තීරණය කර ඇති බවද එම නිවේදනයේ සඳහන් වේ.

ඒ අනුව, අද (07) උදෑසන 9:00ට සංගමයේ ප්‍රධාන කාර්යාලයේ හදිසි විධායක කමිටු රැස්වීමක් පැවැත් වීමට නියමිත අතර ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග නැගෙනහිර පළාත පුරා විහිදීමට ද සැලසුම් කර ඇත.

එමගින් අද දිනයේ නැගෙනහිර පළාතේ ප්‍රධාන රෝහල් ඉදිරිපිට විරෝධතා උද්ඝෝෂණ මාලාවක්ද පැවැත් වීමට සැලසුම් කර ඇති බව වෛද්‍ය සංගමයේ නිවේදනයේ දැක්වේ.

ජනපති හා විෂයභාර ඇමති මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව ද වෛද්‍ය සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.

අදාළ වෘත්තීය ක්‍රියාමාර්ගවලින් ජනතාවට අපහසුතාවක් ඇති වුවහොත් එයට සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන්ට ම භාර විය යුතු බවද වෛද්‍ය සංගමය සිය නිවේදනයේ මගින් අවධාරණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *