මහ මැදුරටත් දුගී පැලටත් නත්තලේ සතුට එක සේ ලබා දීම රජයේ අරමුණයි..! – ජනපති…

December 25, 2022 at 11:42 am | by emanisa.lk

නත්තල් දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ.

එම සම්පූර්ණ පණිවිඩය පහතින් දැක්වේ.

“සියලු මනුෂ්‍යයන් ආලෝකවත් කරවන, රුදුරු අඳුර පරදාලන සත්‍ය ආලෝකයාණන්ගේ පැමිණීම නොහොත් ආගමනය නත්තලයි. එය දිළින්දන්, වහලුන්, පීඩිතයින් මුදාලන විමුක්තිදායක සුපුවතේ රාවය නඟන ආනන්දජනක මංගල්‍යයකි.

බෙත්ලෙහෙමේ දිළිඳු ගව ලෙනක උපන් යේසු බිළිඳා යථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට සිය උපතේ පටන් ම ආදර්ශයක් ගෙන දුන්නේ ය. උන්වහන්සේ මුළු දිවිය ම කැප කළේ සමාජයේ පීඩාවට පත් ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා ය.

ලාංකේය වත්මන් සමාජ හා ආර්ථික අර්බුද හමුවේ විමුක්තිදායක කිතු උපතේ යථාර්ථයට සමීප වෙමින්, මනුෂ්‍ය වර්ගයා එකිනෙකා කෙරෙහි දයානුකම්පාවෙන් හා ප්‍රේමයෙන් ජීවත්වීම සහ සමාජය තුළ පීඩිතව දිවි ගෙවන සහෝදර ජනතාවට පිහිටවීම යේසුස් ක්‍රිස්තුස් වහන්සේට දැක්විය හැකි උපහාරය යි.

වියදම් අඩුකර, නිහතමානී නත්තලක් සමරමු, ඉතිරි කරන දේ දුක්විඳින ජනයාට ලබා දෙමු යනුවෙන් සුදතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ද අප සැමට ඇරයුම් කරමින් මනුෂ්‍යත්වයේ වටිනාකම කියා දෙයි.

මහ මැදුරටත්, දුගී පැලටත් නත්තලේ සතුට එක ලෙස ලබා දීම අප රජයේ ඉලක්කය වන අතර සැමට ප්‍රේමය පතුරන මනුෂ්‍යත්වය බෙදා දෙන පුරවැසියන් ලෙස සාමාජීය වගකීම ඉටු කිරීමට ද මේ නත්තල් සමයේ සියලු දෙනා අදිටන් කරගත යුතු ය.

කිතු සමිඳුන්ගේ අසිරිමත් උපතේ බල මහිමයෙන් අප දේශය සුවපත් කරන, නිවහල් වන ඉදිරි දශකයට දොරගුළු විවර වේවායි ප්‍රාර්ථනය කරන අතර උන්වහන්සේ පැතූ මනුෂ්‍යත්වය, සහජීවනය, පරිත්‍යාගය පිළිබඳ ශුභාරංචිය සිව්දිග පැතිරෙන ප්‍රීතිමත් නත්තලක් වේවායි ශුභාශිංසනය කරමි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *