අධිකරණ නියෝග ද නොතකා මහ බැංකු පනත් කෙටුම්පත ඒ ආකාරයෙන් ම සම්මත කර ගැනීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් ඇති බවට සැකයක් උපදින්නේ යැයි යුතුකම සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග පවසයි.
ඊයේ (03) පුවත්පත් කර්තෘවරුන් හා මාධ්‍ය නාළිකා ප්‍රධානීන් සමග පැවැති විශේෂ සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.
“මහ බැංකු පනත ගැනත් අවධානය යොමු විය යුතුයි. විවාදයට වෙන් කර තිබෙන්නේ එක දවසයි. අධිකරණය විසින් මූලික වගන්ති 46කටම විකල්ප යෝජනා කළා. එම විකල්ප යෝජනාවලට යටත්වයි මෙය සම්මත විය යුත්තේ.
කතානායකවරයා පවා මෙය ප්‍රකාශයට පත් කළේ එහි අදහස විකෘතිවන ලෙස. මන්ත්‍රීවරු මේ ගැන විරෝධය පළ කළාට පසු නැවත කියවන්න වුණා. කතානායකටත් මෙය කියවද්දී වරදිනවා නම් එය අත්වැරදීමක් ද රට නොමග යැවීමක් ද කියා සැකයක් මතු වෙනවා.
මීට පෙර අධිකරණ තීන්දු ප්‍රකාශයට පත් කරද්දී එය අපේ මේස මත තිබුණත් මෙය තිබුණේ නැහැ. ඒ ගැන ඇහුවම කිව්වේ එය හැන්සාඩ්ගත කරනවා කියලා. අවශ්‍ය නම් පුස්තකාලයෙන් ගන්න කියලා. ඒත් හැන්සාඩ් වාර්තාවේ තිබෙන අක්ෂර ප්‍රමාණයට වඩා අති කුඩා අකුරුවලින් කියනවන්න බැරි ලෙස මුද්‍රණය කරලා. මේ යන විදිහට දැවැන්ත සැකයක් මතු වෙනවා.
අධිකරණයේ නියෝග නොතකා මුල් කෙටුම්පතේ ඇතැම් වගන්ති සම්මත කර ගැනීමේ උත්සාහයක නිරත වෙනවා. අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා ජනතාව දැනුම්වත් කරන්න. රජයට බලපෑම් කරන්න. රටේ මූල්‍ය පරිපාලනය මීට අදාළයි. දෝෂ තිබෙන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගෙන නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරන්න කියනවා.”