මහා සීනි බදු වංචාව පුස්සක්… එහි දූෂණයක් වංචාවක් හෙළිව නෑ… නීතිපති අධිකරණයට දැනුම් දෙයි..!

June 13, 2025 at 7:01 pm | by emanisa.lk

2020 වසරේ ඔක්තෝබර් මස සීනි සඳහා පනවා තිබූ රුපියල් පනහක බද්ද ශත 25ක් දක්වා අඩුකිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවල දී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බව නීතිපතිවරයා පවසයි.

මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ඊයේ (12) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව දැනුම් දී තිබේ.

ඒ අනුව ඊට අදාළ විමර්ශන කටයුතු අවසන් කිරීමට අවසර දුන් මහෙස්ත්‍රාත්වරයා මෙම සිද්ධියේදී යම් දූෂණයක් හෝ අල්ලසක් හෝ සම්බන්ධයෙන් කරුණු අනාවරණය වෙන්නේ නම් මෙම නඩු ගොනුව අදාළ ආයතන වෙත යොමු කර විමර්ශන සිදුකිරීමට හැකියාව තිබෙන බවත් සඳහන් කර සිටියේය.

2020 වසරේ ඔක්තෝබර් මස 13 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සීනි සඳහා පනවා තිබූ රුපියල් 50ක බද්ද ශත 25ක් දක්වා අඩු කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් රජයට පාඩුවක් සිදු වී තිබේදැයි සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

සිනී බද්ද අඩු කිරීමේ තීරණය තුළින් රජයට රුපියල් කෝටි 1,600කට අධික පාඩුවක් වූ බවට හා බද්ද අඩුකිරීමේ වාසිය ජනතාවට හිමි නොවී මහා සිනි බදු වංචාවක් සිදු වූ බවට එම සමයේදී විවිධ පාර්ශව විසින් චෝදනා එල්ල කර තිබිණි.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළ විමර්ශන පවත්වා සියලු උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළේය.

ඒවා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත දැනුම් දී තිබුණේ මෙම විමර්ශනය තුළින් අපරාධමය වරදක් අනාවරණය නොවන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *