මහා ගල් අඟුරු වංචාව දිගටම…. තවත් බාල ගල් අඟුරු නැවක් දෙකක් එයි…!

April 27, 2026 at 9:51 am | by emanisa.lk

ආන්දෝලනයට තුඩු දී ඇති ‘ට්‍රයිඩන්ට් කෙම්ෆාර්’ (Trident Chemphar) සමාගම විසින් මෙරටට එවනු ලැබූ තවත් ගල්අඟුරු නැව් දෙකක සාම්පල පරීක්ෂණවලින් අසමත් වී ඇති බව වාර්තා වේ.

මීට පෙර අවස්ථා තුනකදී ද මෙම සමාගමේ සැපයුම් ප්‍රමිතියෙන් තොර බව තහවුරු වූ අතර, ඒ අනුව මෙතෙක් අසමත් වූ සමස්ත ගල්අඟුරු නැව් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් ඇත.

‘කොටෙක්නා’ (Cotecna) විද්‍යාගාරය මඟින් සිදු කරන ලද සාම්පල පරීක්ෂාවලදී අනාවරණය වී ඇත්තේ අංක 1, 9, 12, 13 සහ 14 දරන නැව් මඟින් එවූ ගල්අඟුරු තොග ටෙන්ඩර් කොන්දේසිවලට අනුකූල නොවන බවයි.

විශේෂයෙන්ම 12, 13 සහ 14 යන නැව්වලින් ගෙන ආ ගල්අඟුරු සාම්පලවල දළ තාප ජනන ධාරිතාව (GCV) 4,800ට වඩා අඩු අගයක් ගෙන තිබේ. ටෙන්ඩර් පිරිවිතරයන්ට අනුව මෙම අගය 5,900 ත් 6,150 ත් අතර මට්ටමක පැවතිය යුතුය.

තාප ජනන ධාරිතාව මෙලෙස අඩු වීම හේතුවෙන් විදුලි ඒකකයක් නිපදවීම සඳහා වැඩි ගල්අඟුරු ප්‍රමාණයක් දහනය කිරීමට සිදු වන අතර, එය බලාගාරයේ පිරිවැය ඉහළ යාමට සෘජුවම බලපායි. එසේම අඩු වන විදුලිය නිෂ්පාදනය සඳහා පෞද්ගලික ඩීසල් බලාගාරවලට අවස්ථාව ලැබෙන අතර එහි මිලද පාරිභෝගිකයාට දැරීමට සිදුවෙයි.

ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සැපයීම හේතුවෙන් ට්‍රයිඩන්ට් සමාගම වෙත දැනටමත් අමෙරිකානු ඩොලර් මිලියන 8.1 ක දැවැන්ත දඩ මුදලක් පනවා තිබේ.

එසේ වුවද, දිගින් දිගටම සිදුවන සැපයුම් පමාවන් සහ ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු සැපයීම නොසලකා, එම සමාගම සමඟ ඇති කොන්ත්‍රාත්තුව අවලංගු කිරීමට බලධාරීන් මෙතෙක් පියවර ගෙන නොතිබීම විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *