මම හරියට විදුලි ගෙවන්න බැරි වුණේ මණ්ඩලේ වරද නිසයි…! – කෙහෙළිය….

February 26, 2022 at 1:04 pm | by emanisa.lk

ලංකා විදුලිබල මණ්ඩලය තමන්ට අවිධිමත් සහ අසාමාන්‍ය විදුලි බිල්පත් ලබා දී තිබූ බවත්, අවස්ථා ගණනාවක දී ඔවුන්ගෙන් ඒ පිළිබඳ විමසීම් සිදු කළත් ප්‍රතිචාර නොලැබුණු නිසා වත්මන් තත්ත්වය උද්ගතව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.

තමන් පදිංචිව සිටි කොළඹ 07, සරණ පාරේ නිවසේ විදුලි බිල සම්බන්ධයෙන් ෆේස් බුක් ගිණුම වෙත ප්‍රකාශයක් එක කරමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම කරුණු පැහැදිලි කිරීම සිදුකර තිබේ.

තමන් මෙම නිවසේ පදිංචියට පැමිණියේ 2015 වසරේ ජනවාරි මස දී බවත් ඒ සමයේදී විදුලි බිල රු. 25000 –30000 වැනි මට්ටමක පැවති නමුත් පසුකාලීනව විදුලි බිල්පත්වල අසාමාන්‍ය වැඩිවීමක් තමන්ට දක්නට ලැබුණු බව ඇමතිවරයා සඳහන් කරයි.

ඇතැම් අවස්ථාවල රුපියල් 760,000, 3,30,000, 55,000, 75,000, 90,000 වැනි අගයන්ගෙන් යුත් බිල්පත් ලැබුණු අතර ඒවා නිකුත් කර එහි පෙර සිටි තැනැත්තාගේ නමට බව ද ඇමතිවරයා කියා සිටී.

මෙම අසාමාන්‍ය තත්ත්වය පිළිබඳ පැහැදිලි කරගැනීම සඳහා තමන් ලංකා විදුලිබල මණ්ඩලයට අවස්ථා දෙකකදී ලිඛිතවත්, අවස්ථා 10 කදී පමණ ඇමතුම් ලබාදීමත් කළ නමුත් කිසිදු යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ඒ මහතා ප්‍රකාශ කරයි.

මේ අතර නිවස යළි භාරදීමට අවශ්‍ය වූ නිසා ගෙවීමට ඇති විදුලි බිල ඉල්ලා සිටි අවස්ථාවේ තමාට ලක්ෂ 70ක බිල්පතක් එවා ඇත්තේ ද පෙර සිටි අයගේ නමට බව ඇමතිවරයා පවසයි.

ජනවාරි මාසයේ දී තමන් එය ගෙවා දැමූ නමුත් ඒ මුදලට ලදුපත නිකුත් කර ඇත්තේ ද තමන්ට පෙර නිවසේ පදිංචිව සිටි පුද්ගලයාගේ නමට බව පවසන කෙහෙළිය රඹුක්වැල්ල, මෙවැනි අවුල්සහගත තත්වයක් තුළ පවා එවැනි විශාල මුදලක් ගෙවීමට කටයුතු කළේ රටේ වගකිවයුතු පුද්ගලයෙකු නිසා බවත් සඳහන් කර ඇත.

මේ වන විට මේ කාරණය නීති මාර්ගයෙන් විසඳා ගැනීමට තමන් සිය නීතීඥයින් වෙත භාරදී ඇති බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *