මම වැඩේට බැස්සේ අනුර ඇමරිකාවේ ග්‍රැෆයිට් ටෝක් දෙන්න ගොඩක් කලින්..! – විමල්…

November 1, 2023 at 5:05 pm | by emanisa.lk

වරද්ද ගන්නේ නැතුව ග්‍රැෆයිට් ගැන හරියටම ක්‍රියාත්මක වුණු හැටි…

ග්‍රැෆයිට් (Graphite – මිනිරන්) ඇතුළු ආර්ථිකමය වශයෙන් වටිනාකමක් ඇති ඛනිජ ද්‍රව්‍ය අගය එකතු කරමින් (Value added) ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම පිණිස වැඩපිළිවෙළක් කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් මා විසින් ආරම්භ කලේ මීට බොහෝ කලකට පෙරය. මේ දිනවල නැවතත් එම මාතෘකාව සමාජයේ කතාබහට ලක්වන නිසා ඒ පිළිබදව නැවත මෙසේ මතක් කරදීම සුදුසු යැයි සිතමි.

මා කර්මාන්ත අමාත්‍යවරයා ලෙස වැඩ භාරගැනීමෙන් පසු අමාත්‍යංශයට අදාළ සියලු ආයතන සහ රාජ්‍ය ව්‍යවසායන් ඉතා සමීපව නිරීක්ෂණය කිරීමේදී දැනගැනීමට ලැබුණු තොරතුරුවලින් ඇතැම් විටෙක මම විමතියට පත් වුණෙමි. ඒ දීර්ඝ කාලයක් පුරා අප රටට විශාල විදේශ විනිමයක් උපයාගත හැකි මේ පොළොවේ ඛනිජ සම්පත් රැසක් අප විසින් අමුද්‍රව්‍ය (Raw Materials) ලෙස පමණක් අපනයනය කරමින් සිටින බව දැනගන්නට ලැබීමෙනි. මේ පොළොවෙන් ලබාගන්නා විශාල වටිනාකමක් ඇති ඛනිජ ද්‍රව්‍ය කිසිදු අගය එකතු කිරීමේ නිෂ්පාදනයක් මෙරට තුළදී සිදු නොකර අදාළ ආයතන විසින් ඉතා පහසු ලෙස අමුද්‍රව්‍ය ලෙසම තොග පිටින් සාමාන්‍ය මිලක් යටතේ විකුණා දමනා බව මට දැනගන්නට ලැබිණි.. ග්‍රැෆයිට්(මිනිරන්), ඛනිජ වැලි, ඉල්මනයිට්, සර්කෝන්, රූටයිල් වැනි වටීනා ඛනිජ ද්‍රව්‍ය අගය එකතු කොට විකිණීම සිදුකරන්නේ නම්, ආසන්න වශයෙන් 1:10 – 1:20 පමණ විශාල අදායමක් ලබාගැනීමට හැකිව තිබූ බව මාගේ නිරීක්ෂණය විය.

එතැන් පටන් මෙම වටිනා ඛනිජ සම්පත්වලට අගය එකතුකොට රටට විදේශ විනිමය ගෙන ආ හැකි මහගු ව්‍යාපෘතීන් බවට පත් කිරීමට අවශ්‍ය සියලු තොරතුරු සොයා එක්රැස් කිරීම ආරම්භ කළෙමි. ඒ අනුව 2021 සැප්තැම්බර් මාසයේදී මෙරට දැනට හඳුනාගෙන ඇති නමුත් භාවිතයට නොගන්නා ඛනිජ ද්‍රව්‍ය විධිමත් පරිදි ආර්ථිකමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීම පිණිස වැඩපිළිවෙළක් සෑදීම සඳහා කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් මා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. ඒ අනුව පළමුව එකී ඛනිජ ද්‍රව්‍ය සංචිත පවත්නා ප්‍රදේශ, එම සංචිත ප්‍රමාණ හා ඒවා භාවිතා කරමින් කළ හැකි නිෂ්පාදන පිළිබඳව සවිස්තරාත්මක අධ්‍යයනයක් සිදු කිරීම පිණිස ක්ෂේත්‍රයේ විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමට පියවර ගත් අතර කමිටුවේ නිර්දේශ අනුව අදාළ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ආරම්භ කළෙමි.

එම වකවානුවේදී දේශීය ඛනිජ සම්පත් නිසි අගය එකතු කිරීමකින් තොරව අපනයනය කිරීම වැළැක්වීමට මා විසින් සිමා පැනවීම් සිදු කළ අතර වරක් කිරින්ද ඛනිජ වැලි නිධියෙහි ඛනිජ කිසිදු අගය එකතු කිරීමක් නොමැතිව ඉන්දියානු සමාගමකට ලබාදීමට අදාළ ප්‍රදේශවාසින් පවා ඉඩහසර ලබදුන්විට මා පෞද්ගලිකව මැදිහත්ව එය වළක්වන ලදී. ප්‍රදේශවාසීන් කියා සිටියේ ඉන්දීය සමාගමක් මෙම ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතු සිදු කර ප්‍රදේශවාසීන්ට ප්‍රතිලාභ ලබාදීමට සූදානම් බව ය.
ජාතික සම්පත් විදේශ සමාගම්වලට විකිණීම හෝ පවරා දීම මාගේ ප්‍රතිපත්තිය නොවන අතර පරිසරය ද සුරකිමින් ජනතාවට උපරිම ප්‍රතිලාභ ලැබෙන පරිදි රාජ්‍ය සමාගමක විශ්වාසය යටතේ කිරින්ද ඛනිජ වැලි නිධියෙහි කැණීම් කටයුතුවලට සහාය ලබාදෙන ලෙසත් මා එදා ඔවුන්ගෙන් ඉල්ලා සිටියෙමි. එදා එම ප්‍රදේශයේ ජනතාව අතුරින් අයෙක් මගෙන් ඉල්ලා සිටියේ ”ඉන්දියානු සමාගමට මේ ඛනිජ සම්පත විකුණගන්න ඉඩදෙන්න, එහෙම වුණොත් ඔබතුමාට ස්වර්ගයට යන්න ඒ පිනම ඇති” ලෙස පවසමිනි. එහිදී මාගේ පිළිතුර වූයේ ” මම කැමැත්තෙන්ම අපායට යන්න තෝරගන්නවා. හැබැයි මේ ඛනිජ නිධිය ඉන්දියාවට නම් දෙන්නෙ නැහැ ” යන්නයි.

එසේ අප පොළොවට හිමි ඛනිජ සම්පත් රැකගනිමින්, අගය එකතු කරමින් පවත්වාගෙන යෑමේ මාගේ තීන්දුවට විවිධ පාර්ශ්වයන්ගෙන් අභියෝග සහ විවේචන එල්ලවිම එකල ද සුලබ විය. බාහිර මෙන්ම ආණ්ඩුව අභ්‍යන්තරයේදී ඒ පිළිබද සමහරු විවේචනාත්මක අදහස් දරනු ලැබිය. බොහෝ විට ඒවාට හේතුවිය හැක්කේ අපගේ වටිනා ඛනිජ සම්පත් අමුද්‍රව්‍ය ලෙස කුණු කොල්ලයට මිලදී ගන්නට මාන බලමින් සිටින දෙස් විදෙස් සමාගම්වල අතයට ගනුදෙනු විය හැකිය. එවන් කිසිදු අභියෝගයක් හමුවේ පෙරට තැබූ පය පසුපසට ගැනීමට මා කිසි විටකත් අදහස් නොකළෙමි.

සමස්ත ඛනිජ සම්පත් අතරින් මේ දිනවල වැඩි වශයෙන් සාකච්ච්ජාවට බදුන්වෙන ග්‍රැෆයිට් (Graphite – මිනිරන්) පිළිබද එකල මාගේ නිරික්ෂනයන්ගේ වැඩි අවධානයක් යොමුවිය. දීර්ඝ කාලයක් පුරා අධික විදේශ විනිමයක් උපයා ගැනීමට හැකියාව තිබියදී අපි අපගේ මිනිරන් සාමාන්‍ය මිනිරන් ලෙස සාමාන්‍ය මිලකට අපනයනය කරමින් සිටින බව දැනගැනීමෙන් පසු මා අපගේ ප්‍රධානම මිනිරන් පතල් සංකීර්ණය වන කහටගහ පතල් සංකීර්ණයේ නිරීක්ෂණය කලෙමි. අක්කර 102ක භූමිභාගයකින් යුත් පතල් සංකීර්ණය සතු මිනිරන් සංචිතයෙන් මාසිකව මිනිරන් මෙට්‍රික් ටොන් 65ක් කැණීම් කටයුතු මගින් ලබාගන්නා අතර එය මෙට්‍රික් ටොන් 85 දක්වා වැඩි කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට එම නිරික්ෂනයන් හේතුවෙන් අපට හැකියාව ලැබුණි.

පසුව මා විසින් 2021 සැප්තැම්බර් 8 වනදා අපගේ පොළොවේ ඇති ඛනිජ සම්පත් නූතන අධි තාක්ෂණික ක්‍රම භාවිතා කර ගවේෂණය කරමින් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට ඒවා යොදාගැනීම, ඒවාට අගය එකතු කිරීම, අගය එකතු කිරීමේ නිෂ්පාදන සහ කර්මාන්ත මෙරට තුලදී හදුනා ගැනීම ඇතුළු ඉදිරි වැඩපිළිවෙල සිදුකරන ආකාරය පිළිබද අදාළ සියලු රාජ්‍ය ආයතන වල නිලධාරීන් අමාත්‍යංශයට කැදවා දීර්ඝ සාකජ්ජා වට ගණනක් පවත්වා සැළසුම් සකස් කරන ලදී.

ඊට සමගාමීව ග්‍රැෆයිට් (Graphite – මිනිරන්) වලට අගය එකතු කරමින් සිදුකළ හැකි නිෂ්පාදනයන් පිළිබඳව මෙරට ඒ පිළිබද උනන්දු තරුණ ව්‍යවසයකින්, පර්යේෂකයින්, පෞද්ගලික සමාගම්, මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය සුදත් රෝහිත මහතා ඇතුළු පිරිසක් සමග දීර්ඝ සාකජ්ජා පත්වමින් සැළසුම් සකස් කරන ලදි. නිශ්චිත කාල රාමුවක් තුල ලබාගත යුතු ඉලක්ක පිළිබදව සියලු සැළසුම් සකස් කරන ලදී.

ඒ සියලු සැළසුම් එසේ ක්‍රියාත්මක වෙත්දී ඒවාට එතරම් කැමැත්ත නොදැක්වූ බොහෝ දෙනාගේ අභියෝග කිරීම් හමුවේ වුවද මා විසින් අත්හල නොහැකි වගකීමක් ලෙස සිතාගෙන කටයුතු කල අතර දේශීය ඛනිජ සම්පත් අගය එකතුකොට රටට විශාල විදේශ විනිමයක් ලබාගැනීමේ මාගේ උනන්දුව සහ මැදිහත්වීම ඉතා වැඩිවීම ආණ්ඩුවේම සමහරුන්ගේ එතරම් කැමැත්තට හේතු නොවිය.
ඒ අනුව ඔවුන් ඉක්මන් තීරණ ගැනීමට පෙළඹිනි.

– විමල් වීරවංශ | 2023.11.01

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස