බෞද්ධයින් යොදා ගෙන දළදා වහන්සේට අපහාස කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි…! – අස්ගිරි නි. ලේඛකාධිකාරී හිමි…

February 16, 2023 at 9:29 am | by emanisa.lk

බෞද්ධාගමටත් ශ්‍රේෂ්ඨ සංඝපීතෘන් වහන්සේලාටත් දියවඩන නිලමේ ඇතුළු බෞද්ධ ප්‍රභූන්ටත් අපහාස කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙළක් බෞද්ධයන් ම යොදා ගනිමින් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, අස්ගිරි පරිවේණාධිපති පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.

මක්කම, වතිකානුව වැනි පූජනීය ස්ථානවලට කිසිදු ආකාරයෙන් අපහාස උපහාස නොකරන පසුබිමක් තුළ දළදා වහන්සේ දළදා මාලිගාව ඇතුළු බෞද්ධ පූජනීය ස්ථානවලට පමණක් අපහාස කරන්නේ ඇයි ද? යන්න සම්බන්ධව බෞද්ධ සමාජය අවදියෙන් සිටිය යුතු යැයි ද නාහිමියෝ පැවසූහ.

ගතවෙමින් තිබෙන්නේ භික්ෂුන්ට හා බෞද්ධ ශාසනයට අසුබ කාලයක් බවත් සමාජ මාධ්‍ය මගින් අපේ සාරධර්ම විනාශ කරමින් තිබෙන බව ජනතාව තේරුම් ගත යුතුව තිබෙන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

පිළිමතලාව රණවන පුරාණ විහාරස්ථානයේ ස්ථාපිත කර තිබෙන ලොව උස ම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ 9 වන වර්ෂ පූර්ණය නිමිතෙන් එම විහාරස්ථානයේ දී ඊයේ (15) පැවැති උත්සවයකට සහභාගි වෙමින් ආනන්ද නාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *