සමාජ මාධ්ය ජාලා ඔස්සේ අසත්ය සහ තහවුරු නොකළ කරුණු ප්රචාරය කරමින් මහ ජනතාව නොමග යවන සහ සමාජ නොසන්සුන්තාව ඇති කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව ශ්රී ලංකා පොලීසිය අවධාරණය කරයි.
පොලිස් මාධ්ය ප්රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ, ඇතැම් පිරිස් විසින් සමාජ මාධ්ය අවභාවිත කරමින් මහජන කැළඹීම්, භීතිය සහ නොමග යවනසුලු ප්රකාශ නිරන්තරයෙන් පතුරුවන බවට නිරීක්ෂණය වී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පොලීසිය දැඩි අවධානයෙන් පසුවන බවයි.
එවැනි ක්රියාවක නිරත වෙමින් Facebook හරහා මහ ජනතාව නොමග යවන සහ කඩාකප්පල්කාරී අසත්ය තොරතුරු පළ කළ සැකකරුවෙකු නිකවැරටිය පොලිස් බලප්රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගත් බව හෙතෙම අනාවරණය කළේය.
අදාළ සැකකරු නිකවැරටිය මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඉදිරි නීතිමය ක්රියාමාර්ග ගැනීමට කඩිනමින් පියවර ගෙන තිබේ.
තහවුරු නොකරන ලද කිසිදු අසත්ය තොරතුරක් සමාජ මාධ්ය ඔස්සේ බෙදාහැරීමෙන් වළකින ලෙසත්, එවැනි ප්රචාරයන්ට නොරැවටෙන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටින පොලිස් මාධ්ය ප්රකාශකවරයා, පරිගණක අපරාධ පනත සහ දණ්ඩ නීති සංග්රහය යටතේ මෙවැනි වැරදිකරුවන්ට එරෙහිව උපරිම නීතිමය පියවර ගන්නා බව වැඩිදුරටත් අවධාරණය කළේය.