ආන්දෝලනයකට ලක්වූ කුරුණෑගල බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය කඩා බිඳ දැමීමේ සිද්ධියෙන් පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමට අසත්‍ය සමාජගත කරමින් පවරන ලද නඩුවකට වියදම් කිරීමට සිදු වූ රුපියල් මිලියන 3.75ක් කෘෂිකර්ම හා වාරිමාර්ග නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතාගෙන් අය කර ගත යුතු බව සඳහන් යෝජනාවක් කුරුණෑගල මහ නගර සභාවේ විපක්ෂ නායක (සජබ) සුමේධ අරුණශාන්ත මහතා සභාවට ඉදිරිපත් කර ඇත.
මේ සම්බන්ධයෙන් වන යෝජනාව තමන් මෙවර කුරුණෑගල මහ නගර සභාවේ මාසික සභා රැස්වීමට පෞද්ගලික යෝජනා යටතේ ඉදිරිපත් කළ බව ද ඒ මහතා පැවසීය.
“මේ සිද්ධියෙන් දේශපාලන වාසි ගැනීමේ අරමුණින් වත්මන් නියෝජ්‍ය ඇමැතිවරයා එම කාලයේදී කුරුණෑගල මහ නගර සභාව, නගරාධිපතිවරයා සහ තවත් අය වගඋත්තරකරුවන් කරමින් මැණ්ඩාමුස් රිට් ආඥාවක් ඉල්ලා අභියාචනාධිකරණයේ නඩුවක් ගොනු කර තිබූණා. ඒ සඳහා පෙනී සිටීමට කුරුණෑගල මහ නගර සභාවට නිරපරාදේ වැය කිරීමට සිදු වූ එම මුදල නියෝජ්‍ය ඇමැතිවරයාගෙන් අය කර ගත යුතුයි.
නාමල් කරුණාරත්න මහතා විසින් පවරන ලද එම අභියාචනා නඩුවට නඩු ගාස්තු ලෙස රුපියල් මිලියන 24ක මුදලක් ගෙවීමට මුදල් ස්ථාවර කමිටුව විසින් නිර්දේශ කර තිබුණා. නීත්‍යනුකූලව එම මුදල සභාවෙන් දරා තිබෙනවා.
අනතුරුව අදාළ ස්ථානය පුරාවිද්‍යා වටිනාකමක් නැති ස්ථානයක් බවට ප්‍රබල සාක්ෂි සහිතව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද මෝසමක් හේතුවෙන් නාමල් කරුණාරත්න මහතා විසින් ගොනු කරන ලද නඩුව ඉල්ලා අස්කරගෙන තිබෙනවා. මේ තත්ත්වය මත බොරු නඩුවක් පටලවමින් කුරුණෑගල මහ නගර සභාවට නිරපරාදේ වැය කිරීමට සිදුව ඇති මහජන මුදල් නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතාගෙන් අය කර ගත යුතුයි.”