බුදු දහම සහ දළදාව රැක දෙන්න..! – අස්ගිරි මල්වතු නාහිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්…

January 4, 2023 at 5:12 pm | by emanisa.lk

දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් රවටමින් මිල මුදල් ඇතුළු වටිනා දෑ එකතු කරමින් කුරුණෑගල වදාකඩ පාරේ පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් ගොඩනැගීම හා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට අපහාස වන අයුරින් සේපාල් අමරසිංහ නැමැත්තා ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නැයි මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි මහනාහිමිවරුන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ අත්සනින් යුතුව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමුකොට තිබේ.

එම ලිපියේ මෙසේ ද සඳහන් වේ.

කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ජනක සේනාධිපති නැමැත්තෙකු විසින් ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කොට ඉදි කරමින් පවතින බව අප වෙත දැනගන්නට ලැබී ඇත. මේ වන විටත් දේශීය හා විදේශීය ගිහි පැවිදි බොහෝ දෙනා මෙම මිත්‍යථ්‍යාවට රැවටී මිලමුදල් රත්‍රං ආදිය පරිත්‍යාග කරන බව ද කරුණු අනාවරණය වෙමින් පවතී.

එසේම බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන ආකාරයෙන් සේපාල් අමරසිංහ නැමැත්තකු බුදු දහමට හා ශ්‍රී දළදා මාළිගාවට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති බවක් දක්නා ලැබේ .

මෙසේ බුදු දහමට හා ශාසනික චිරපැවැත්මට හානිකර වන අයුරින් හා දළදා ඉතිහාසය විකෘති වන ආකාරයෙන් ව්‍යාජ දළදා මාළිගා නිර්මාණය කරමින් මිත්‍යා මත ඉස්මතු කොට දැක්වීම හා බුදු දහම කෙරෙහි අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කිරීම සමස්ත ලෝකවාසී බෞද්ධයන්ගේ පූජනීයත්වයට හා වන්දනීයත්වයට පාත්‍රව පවත්නා සෙංකඩගලපුර ශ්‍රී දළදා මාලිගාවේ පරම පූජනීයත්වයට හානිකර ක්‍රියාදාමයන් බවත් බුදුදහමට අපහාසයක් ගෙන දෙන්නක් බවත් කාටත් වැටහී යනු නොඅනුමානය .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *