බීමතින් රිය පදවා 2023 වර්ෂයේ වැල්ලවත්ත මුහුදු මාර්ගයේදී අනතුරක් සිදු කිරීමේ සිද්ධියට අදාළව රිය අනතුරක් වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට රුපියල් 2500ක දඩ මුදලක් ගෙවන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා අද (ජුලි 09) නියෝග කළා ය.
ඒ, රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන් තමන් වරදකරු බවට පිළිගැනීමෙන් අනතුරුව ය.
නඩුව අද දින කැඳවූ අවස්ථාවේදී පළමු වන චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම සම්බන්ධයෙන් තම සේවාදායකයා වරද පිළිගන්නා බව චූදිතයා වෙනුවෙන් පෙනී සිටි චන්දන පෙරේරා, ගීත්ම ප්‍රනාන්දු සහා අජිත් නන්දකුමාර යන නීතිඥවරු අධිකරණයට දැන්වූහ.
පළමු වන චෝදනාව වන රිය අනතුරක් වළක්වා නොගැනීම යන චෝදනාව සම්බන්ධයෙන් දඬුවම් නියම කිරීමට හා දෙවන සහ තෙවන චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා ඉදිරියට පවත්වාගෙන යනවා ද? නැද්ද? යන්න පිළිබඳ තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා මෙම නඩුව අද දින කැඳවනු ලැබී ය.
ඒ අනුව දෙවන සහ තෙවන චෝදනා වන අපරීක්ෂාකාරීව රිය පැදවීම, බීමත්ව රිය පැදවීම යන චෝදනා සම්බන්ධයෙන් නඩුව විභාගයට ගැනීමට සහ නියම කරන ලද දඩ මුදල ගෙවීමට නැවත මෙම නඩුව අගෝස්තු මස 20 වන දින කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළා ය.
අධිකරණය වෙනස් කිරීමට 2025 වසරේදී දැරූ උත්සහය
2023 වසරේ බීමත්ව රිය පදවා රිය අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු චෝදනා යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්නට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය තාවකාලිකව අත්හිටුවන ලෙස අභියාචනාධිකරණය 2025 සැප්තැම්බර් 04 වන දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේ ය.
ඒ, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ තමන්ට එරෙහිව පවතින නඩුකරය වෙනත් අධිකරණයකට මාරු කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ය.
මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම සලකා බැලිණි.
BBC sinhala