පුද්ගලයකු ඉලක්ක කරගෙන පහර පිට පහර එල්ල කිරීමෙන් රටේ පවතින ආර්ථික අර්බුදය විසඳිය නොහැකි බව බොදු බල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ප්‍රකාශ කළහ.
උන්වහන්සේ එසේ ප්‍රකාශ කළේ (16) රාජගිරිය සද්ධර්මරාජික විහාරයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
මධ්‍යම සංස්කෘතික අරමුදලට විශාල විනාශයක් කළ විපක්ෂ නායකවරයාට රට භාර දෙන්න ඇතැමුන් උත්සාහ කරන බව ද පැවසූ ඥානසාර හිමියෝ ජනාධිපතිවරයා විධායක බලතල පාවිච්චි කරමින් ඇතැම් ගැටලු විසඳීමට ක්‍රියා කළ යුතු යැයි ද පැවසූහ.
”මේ දිනවල දේශපාලන පක්ෂ රට වැටී තිබෙන අර්බුදය පිළිබඳ සාකච්ඡා කරනවා. දේශපාලන සංදර්ශනද පවත්වනවා. මෙහිදී භික්ෂුන් වහන්සේ ලෙස යම් ආකෘතියක් තුළ සිට ඒ දෙස අප බැලිය යුතුයි. මේ වන විට සංචාරක ව්‍යාපාරයෙන් ලැබූ ඩොලර් බිලියන ගණනක මුදල අහිමි වෙලා තිබෙනවා. අපේ රටට අතවශ්‍ය භාණ්ඩ ගෙන ඒමට අවශ්‍ය ඩොලර් සංචිත නැහැ. හැබැයි මේ ගැටලුව හරිහැටි කියවා නොගැනීමෙන් පවතින අර්බුදය තව තවත් විශාල වී තිබෙනවා. අප සිටින්නෙ බරපතළ ජාතික අනතුරක. එක් පුද්ගලයකු ඉලක්ක කරගෙන පහර පිට පහර එල්ල කිරීමෙන් රටේ පවතින ආර්ථික ගැටලුව විසඳන්න බැහැ.
විදේශගතව සිටින මෙරට පිරිස්වලට ඩොලර් අර්බුදය විසඳා ගැනීමට මේ අවස්ථාවේ උදව් කරන ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කළොත් විශාල මුදලක් අපට එකතු කර ගන්න පුළුවන්. විධායක බලතල ජනාධිපතිවරයාට තිබෙනවා. ආණ්ඩුව මේ රට නිසි මඟට රැගෙන යන්න ඕනෑ. විධායක බලතල පාවිච්චි කර ගැටලු විසඳන්න ඕනෑ. රටට වී තිබෙන අනතුර ජනතාවට නිවැරදිව පැහැදිලි කළ යුතුයි. කුමන වකවානුවක සිට වැරදි සිදු වී ඇත්දැයි පහදා දිය යුතුයි. ඒ සඳහා පිළිගත හැකි මණ්ඩලයක් පිහිටු වන්න පුළුවන්.
2015 සිට 2019 දක්වා සජිත් මහත්තයාගේ කෙරුවාවල් දැක්කා. ඔවුන්ගේ දේශපාලන භාවිතාව පිළිබඳ නම් අපට පැහැදීමක් නැහැ. ඉදිරියේදී සජිත් ප්‍රේමදාස මහත්තයා මේ රටේ බලය ගත්තොත් කොහොමද පවතින ණය ගෙවන්නෙ. වත්මන් ජනාධිපතිවරයා භාර ගත්තෙ ගැටලු තිබෙන රටක්. මේ රටේ ප්‍රශ්නවලට නිදහසින් පසු සිටි බොහෝ පාලකයන් වගකියන්න ඕනෑ. පව්කාර නිලධාරී පැලැන්තියක් ද මේ රටේ සිටිනවා.”