බැංකු ගිණුම්වලින් 60%ක රු. 5000ක් නෑ…!

April 27, 2024 at 12:31 pm | by emanisa.lk

මෙරට ජනතාව විසින් පවත්වාගෙන යනු ලබන බැංකු ගිණුම්වලින් තුන් කෝටි හතළිස් තුන්ලක්ෂයකට (34,320,000) වැඩි ප්‍රමාණයක් රුපියල් පන්දහසට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බව අනාවරණය වී ඇත.

මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය පැවසුවේ, මෙරට ජනගහනය දෙකෝටි විසි ලක්ෂයක් වූවත්, බැංකුවල තිබෙන ගිණුම් ප්‍රමාණය පන් කෝටි හැත්තෑ දෙලක්ෂයක් (57,200,000) බවයි.

එම බැංකු ගිණුම්වලින් 60% ක්ම රුපියල් 5000ට වඩා අඩු තැන්පතු සහිත ගිණුම් බවත්, බැංකුවලට අය නොවන ණය ප්‍රමාණය සාමාන්‍ය කාලවල දී 4% ත් 5% ත් අතර ප්‍රතිශතයක පැවතියත්, මේ වන විට අය නොවන ණය ප්‍රමාණයේ ප්‍රතිශතය 13% ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ණය නොගෙවීම නිසා දේපොළ අත්පත් කරගැනීමේ නීතිය ක්‍රියාත්මක කිරීම (පරාටේ නීතිය) මේ වසරේ දෙසැම්බර් දක්වා තාවකාලිකව රජය විසින් නතර කර ඇතත්, බැංකුවලට අධිකරණයට ගොස් අදාළ දේපොළ අත්පත් කරගැනීමට හැකියාව ඇති බව ද කියා සිටියේය.

බැංකුවල තිබෙන වත්කම්වලින් සියයට 80 කම අයිතිය ඇත්තේ ගිණුම් හිමියන්ට බවත්, බදු ගෙවීම පැහැර හරින පුද්ගලයින්ගේ බැංකු ගිණුම් අත්හිටුවීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව ද ඇමැතිවරයා පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *