පෞද්ගලික සමාගම්වලට තමන් කැමති මිලකට ඉන්ධන විකුණන්න අවසර…!

October 11, 2026 at 10:22 am | by emanisa.lk

පෞද්ගලික ඉන්ධන සමාගම් ඉන්ධන සැපයුම සීමා කරමින් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කිරීමට කටයුතු කළහොත් ඔවුන්ට එරෙහිව පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක අවධාරණය කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අදාළ සමාගම් ඉල්ලා සිටින අයුරින් අධික ලෙස ඉන්ධන මිල ඉහළ දමා පාරිභෝගිකයන් පීඩාවට පත් කිරීමට රජය කිසිසේත්ම සූදානම් නොමැති බවයි.

අදාළ සමාගම්වලට එළඹ ඇති ගිවිසුම් ප්‍රකාරව පිරිවැය පාදක කරගත් මිල සූත්‍රයකට අනුව මිල නියම කර ගැනීමට අවස්ථාව පවතින බවත් අවශ්‍ය නම් ඔවුන්ට එම ක්‍රමවේදය භාවිත කළ හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට ඉන්ධන මිල ඉහළ දමා නොමැති බව සිහිපත් කළ අමාත්‍යවරයා, මෑතකදී ඉන්ධන මිල රුපියල් 10කින් ඉහළ ගියද, රජය රුපියල් 70ක පමණ මුදලක් සහනාධාරයක් ලෙස දරන බව ප්‍රකාශ කළේය.

පසුගිය කාලසීමාවේදී ඉන්ධන සහනාධාර වෙනුවෙන් රුපියල් බිලියන 57ක් වෙන් කළ බවත්, ඉදිරි මාස තුන සඳහා තවත් රුපියල් බිලියන 41ක් වෙන් කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හමුවේ ඉන්ධන මිල ඉහළ යාමේ බරෙන් සැලකිය යුතු කොටසක් රජය සහනාධාර මඟින් දරාගන්නා බැවින්, ඉතිරි බරෙන් කොටසක් ඉන්ධන සමාගම් විසින්ද දරාගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

ආයෝජකයින් අපහසුතාවට පත් කිරීම රජයේ අරමුණ නොවුණද පාරිභෝගික ජනතාව ප්‍රාණ ඇපකරුවන් බවට පත් කරගනිමින් කටයුතු කිරීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොතබන බවත් එවැනි ක්‍රියාමාර්ග දිගින් දිගටම සිදුවුවහොත් බලපත්‍ර සම්බන්ධයෙන් පවා නීත්‍යානුකූල පියවර ගැනීමට සිදුවනු ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස