තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යැයි කියන කණ්ඩායම්වලට හැකි නම් ශ්‍රීලනිප මූලස්ථානයේ මාධ්‍ය හමුවක් පවත්වා පෙන්වන ලෙස අභියෝග කරන බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පවසය.
“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශව කිහිපයක් නෑ. නිල වශයෙන්ම අධිකරණ තීන්දු සියල්ලම අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තිබෙන්නේ එක පාර්ශවයයි. ඒ අපේ පාර්ශ්වය පමණයි.
වෙනත් පාර්ශ්ව තියෙනවා නම් ඒ අය අඩු ගානේ සම්මේලනයක් හෝ විධායක සභාවක් කැඳවන්න කියන්න. එහෙම නැත්නම් මධ්‍යම කාරක සභාවක් කැඳවන්න කියන්න. එහෙම නැත්නම් දේශපාලන මණ්ඩලය. ඒ මොකක්වත් කැඳවන්න පුළුවන්කමක් නෑ. අඩුගානේ පක්ෂ මුලස්ථානයේ සාකච්ඡාවක් තියන්න කියන්න කියලා මා අභියෝග කරනවා.
මේ බොරුවට හදාගත්ත කණ්ඩායම් කියලා පුද්ගලයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. නමුත් මන්ත්‍රීවරුන්ගෙන් අති බහුතරය ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිත් එක්ක. සංවිධායකවරු අතිබහුතරය ඉන්නේ අපිත් එක්ක. ඒ වගේම ප්‍රාදේශීය සභා පළාත් සභා නියෝජිතයන් අති බහුතරය ඉන්නේ අපිත් එක්ක.
අපිට ඔය චෝදනාව කළේ අද නෙමෙයි. අවුරුදු ගානකට ඉස්සෙල්ලා කිව්වා අපි එක්සත් ජාතික පක්ෂෙට යනවා කියලා. තව කට්ටියක් කිව්වා අපි ගිහින් පොහොට්ටුවේ නවතිනවා කියලා. අපි කිසිම පක්ෂෙකට ගියෙ නෑ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට තමයි කටයුතු කරන්නේ.
අපි මේ වතාවේ සහයෝගය පළ කරන්නේ ස්වාධීනව ඉල්ලන අපේක්ෂකයෙක් වෙනුවෙන්. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට. එතුමා ස්වාධීන අපේක්ෂකයෙක් විදිහටයි ඉදිරිපත් වෙන්නේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ඊයේ අපේ දේශපාලන මණ්ඩලය මධ්‍යම කාරක සභාව සහ විධායක සභාව කියන තුනම ඒකමතිකව තීන්දු කළා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සහයෝගය දෙන්න. එතුමා මේ රට මේ තිබුණු අගාධයෙන් ගොඩ ගත්තු නායකයා විදියට තව අවුරුදු කීපයක් එතුමට ජන වරම ලබා දිය යුතුයි කියන අදහසේ ඉඳගෙන තමයි අපි සහයෝගය ලබා දෙන්නේ.
හැබැයි අපිට චෝදනා කරන කට්ටිය ගිහින් නවතින්නේ කොතනද බලන්න. ඒ අය ගිහින් නවතින්නේ කාගේ දෙපතුළ ළඟද කියලා ළඟදීම බලන්න පුලුවන්. අපි එහෙම වෙන පක්ෂයක සංවිධායකයෝ වෙන්නෙත් නෑ. සාමාජිකයෝ වෙන්නෙත් නෑ. අපි සහයෝගය දෙන කෙනා මේ රටේ ජනාධිපති බවට පත් කරන්න අපි කැප වෙලා වැඩ කරනවා. ඒ වගේම ඊළඟට හදන ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි.
ඔළුගෙඩි තියෙන්නේ කොහෙද කියලා සමහරු අහනවා. අම්බලන්තොට තිබුණ රැස්වීම දැක්කනම් වැල්ලවායේ තිබුණ රැස්වීම දැක්කනම්. බදුල්ලේ තිබුණ රැස්වීම දැක්කනම් ඔළුගෙඩි තියෙන්නේ කොහෙද කියලා පෙනේවි. එගොල්ලන්ටත් අපි කියන්නේ ඔළුගෙඩි ගෙනල්ලා පෙන්වන්න කියලයි.
අපි අපේ පක්ෂය යූඑන්පියට හේත්තු කරන්නේ නැහැ. යූඑන්පී එකේ ඉන්නේ වෙනම කට්ටියක්නේ. අපි යූඑන්පී එකට කිසිම ආකාරෙක උදව්වක් කළේ නෑ. අපි යූඑන්පී එකේ සාමාජිකත්වය ගන්නෙත් නෑ. යූඑන්පී එකට අපි එකතු වෙන්නෙත් නෑ. අපි ස්වාධීනව ඉන්න අපේක්ෂකයෙක් වෙනුවෙන් වැඩ කරන්නේ.
ශ්‍රීලංකා නිදහස් පක්ෂය පසුගිය කාලයේ තිබුනේ බිමට සමතලා කරළා. බිංදුවෙ ඉඳල දැන් අපි පටන් අරගෙන යනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියල නමට තිබුණ එක අපි අද ශක්තිමත් පක්ෂයක් බවට පත්වෙමින් යනවා.
අපේ මෛත්‍රීපාල හිටපු සභාපතිතුමාට මන්ත්‍රීවරු 142 ක් එක්ක තමයි මේ පක්ෂෙ භාර දුන්නේ. එතුමත් දෙයියනේ කියල මන්ත්‍රීවරු දෙන්නට ඒක බස්සගත්තා. සියලු වෘත්තීය සමිති නැතිකරගත්තා. සියලු සංවිධාන නැතිකරගත්තා. ගම් මට්ටමේ තිබුණ බලය නැති කරලා වට්ටපු පක්ෂයක් තමයි අපි භාරගත්තේ.
අපේ පක්ෂය දාලා පොහොට්ටුවට ගිය සියලු දෙනාට අපේ පක්ෂයට එන්න පුළුවන්. මේක මහ ගෙදර ඒ අයගේ. ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඔය ඉන්න ඔක්කොටම වගේ හුරු තැනක්. අපේ දොරවල් විවෘතව තියෙන්නේ. ඉතින් ඒක තීන්දු කරන්න ඕන ඒ ඉන්න කට්ටිය.”
ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (01) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.