පොලිස් බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීම සඳහා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එළැඹෙන සතියේ පාර්ලිමේන්තුවට ගෙන එන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.
”මීළඟ ජනාධිපතිවරණයේදී දෙමළ ඡන්ද කුට්ටියට ඉව අල්ලමින් ජනාධිපතිතුමන් විසින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා දෙමළ ජාතික සංධානය සමග සාකච්ඡා කර තිබෙනවා. එහිදී පොලිස් බලතල පසුවත් අන් සියල්ල වහාමත් ක්‍රියාත්මක කරන්න එකඟතාවක් ඇති වූ බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් මහතා රටට ප්‍රකාශ කර තිබෙනවා.
මේ සදහා එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා සර්ව පාක්ෂික සමුළුවක් ජනාධිපතිවරයා විසින් ලබන බදාදා දින කැඳවා තිබෙනවා. මේ පසුබිම යටතේ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව බරපතළ අනතුරකට පත්ව තිබෙන බවට වන අනතුරු ඇඟවීම ජාතියට කළ යුතුයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට බලය ලැබුණු හැමදාම ජාතික ආරක්ෂාව අනතුරේ හෙළා රට අඳුරෙන් අඳුරට යැවූ බව ඉතිහාසයට එබී බලන ඕනෑම කෙනෙකුට පේනවා.
පොලිස් බලතල ව්‍යවස්ථාවේ තියෙන නිසා තමයි ජනාධිපතිවරයා වරින්වර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කැඳවා පොලිස් බලතල පිළිබඳව පොරොන්දු ලබා දෙන්නේ. පොලිස් බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කරන විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිඥවරුන් ප්රමුඛ නීතිඥ කමිටුවක් විසින් කෙටුම්පත් කර මට ලබා දී තිබෙනවා. මෙය ඉදිරි සතිය ඇතුළත අපි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.
පොලිස් බලතල පළාත් සභාවට ලබා නොදිය යුතු බවට ජනාධිපතිවරු හත් දෙනෙක් විසින් ගත් ස්ථාවරය සමගින් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිට ගන්නවද ඩොලර් කුට්ටියට දෙමළ සන්ධානයේ ඡන්ද කුට්ටියට කෑදරකමින් ඇස් අන්ධ කරගෙන බෙදුම්වාදී මාවතේ අපේ ආදරණීය මව්බිම දක්කගෙන යනවද කියන තීන්දුව මන්ත්‍රීවරුන්ට ගන්න අවස්ථාව උදා වෙනවා. රටේ ජනතාවට ඔවුන්ගේ තීරණය කුමක් ද කියලා බලාගන්න පුළුවන් වේවි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැබෑ දේශප්‍රේමය ජනතාව ඉදිරියේ පරීක්ෂාවට ලක් කරන අවස්ථාවක් විදිහට අප මේ විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා”
මන්ත්‍රීවරයා මේ අදහස් පළ කළේ, අද (24) එම පක්ෂ කාර්යාලයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.