තමා ගැන පමණක් සිතමින් යාත්‍රාවේ යෙදෙන ජීවිතයක් වෙනුවට, පොදුජන හිත සුව පිණිස යාත්‍රාකරණයක සෑම පුරවැසියෙකුම නිරත විය යුතු බවත්, ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ 75 වසරක ජීවිතය සහ 64 වසරක පැවිදි දිවිය ඊට මහඟු ආදර්ශයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (28) පස්වරුවේ හම්බන්තොට රුහුණු මාගම්පුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමිගේ 75 වන ජන්ම සංවත්සර “යතින්ද්‍රාභිවන්දනා මහෝත්සවය” අමතමිනි.
අශිෂ්ටත්වයේ කෙළවර දක්වා ගමන් කරමින් තිබු රටක් හා සමාජයක් යළි ශිෂ්ටත්වය කරා ගෙන යාමේ වැඩපිළිවෙළේදී මහා සංඝරත්නය වෙත විශාල වගකීමක් පැවරී තිබෙන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා, රජයක් ලෙස ඒ වෙනුවෙන් ඉටු කළ හැකි සෑම වගකීමක්ම නිසි ලෙස ඉටු කරන බවද අවධාරණය කළේය.
ශිෂ්ටත්වයෙන් යුත් යහපත් සමාජයක් ගොඩනැගීමේදී නව හර පද්ධතියක සහ වටිනාකම් පද්ධතියක අවශ්‍යතාවද පෙන්වා දුන් ජනාධිපතිවරයා ශිෂ්ටත්වය කරා යන එම ගමනේදී “පැරණි ඇඳුම් ඉවත ලා අලුත් ඇඳුම් ඇඳ ගත යුතු බව” තමන් ප්‍රකාශ කළේ එබැවින් බවද සිහිපත් කළේය.
රට තුළ අපේක්ෂා කරන ශිෂ්ටත්වයේ නව හැරවුම ගැනීම හුදු දේශපාලන ධාරාවේ වෙනස්කම්වලින් පමණක් සිදු කළ නොහැකි බවත්, වටිනා හර පද්ධතින් සහ වටිනාකම් මත ගොඩනැගෙන සමාජ බැඳීම්වල කාර්යභාරයක් ඇති බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
එමෙන්ම තමන් දරා සිටින ස්ථාවරයේ ශක්තිමත්ව එළැඹ සිටීමේ ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ “උජුපටිපන්න” ගුණය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා උන්වහන්සේගේ 75 වසරක භික්ෂු ජීවිතය තුළ විද්‍යාමාන කළ වටිනාකම් සිය ජීවිතවලට උකහා ගැනීම උන්වහන්සේට සිදු කළ හැකි ඉහළම ගෞරවය බවද කියා සිටියේය.