පාස්කු ප්‍රහාරය ගාවා මුජිබර් අත්අඩංගුවට ගැනීමේ සැලසුමක්…!

September 7, 2024 at 4:00 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයේ චූදිතයකු ලවා අසත්‍ය චෝදනාවක් තමන්ට එල්ල කර තමන්ව අත් අඩංගුවට පත්කිරීමටත් ඒ හරහා සමගි ජන බලවේගයේ මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමටත් ආණ්ඩුවේ ඇමතිවරයකු ඇතුළු පිරිසක් කුමන්ත්‍රණයක නිරත වන බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

“වර්තමාන රජයේ ඇමතිවරයෙක් හා ඔහුගේ ගෝලයෝ දෙන්නෙක් – එයින් එක්කෙනෙක් පහුගිය කාලේ මුදල් වංචාවලට එහෙම සම්බන්ධ වෙච්ච පුද්ගලයෙක්, අස්ලම් කියලා – ඔහු සමග බන්ධනාගාරයේ අවුරුදු පහක් තිස්සේ අපරාධ සම්බන්ධව චූදිතයෙක් වෙලා ඉන්න පුද්ගලයෙකුව ගිහිල්ලා හම්බවෙලා, ඒ පුද්ගලයා ලවා මට විරුද්ධව ප්‍රකාශයක් ලබාගනිමින් මේක අපේ දේශපාලන මැතිවරණ ව්‍යාපාරයට විරුද්ධව පාවිච්චි කරන්න, ඔහුට යම් යම් වරප්‍රසාද ලබාදෙන්න යෝජනා කරලා තිබෙනවා.

ඒ යෝජනා කරපු දේවල් මට වාර්තා වුණා. ඒ වාර්තා වුණත් එක්කම මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරලා මම අද ඇවිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මගේ පැමිණිල්ල ඉදිරිපත් කළා. මගේ පැමිණිල්ලේදී මම පැහැදිලිවම කියලා තිබෙනවා මේ පුද්ගලයෝ ගිහිල්ලා ඒ චූදිතයාව හම්බවෙලා ඔහු ලවා මට විරුද්ධව අභූත සහ අසත්‍ය කරුණු හෙළිදරව් කරවමින් එක්කෝ අපේ දේශපාලන මැතිවරණ ව්‍යාපාරය කඩාකප්පල් කරන්න, ඒ වගේම මාව අත් අඩංගුවට අරගෙන සිරභාරයේ තබාගන්න යම් කුමන්ත්‍රණකාරී සැලැස්මක් ආණ්ඩුව මගින් දැනුවත්ව ක්‍රියාත්මක කරලා තිබෙනවා කියලා. මම විශ්වාස කරනවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉතා කඩිනමින් ක්‍රියාත්මක වෙයි කියලා.”

මුජිබර් රහුමාන් මහතා මේ බව පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *