පාස්කු ප්‍රහාරයට පුපුරන ද්‍රව්‍ය දුන් කල්ලියට නැවත බලපත්‍ර දීලා…!

October 8, 2024 at 5:10 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරය සඳහා සහරාන් කල්ලියට පුපුරන ද්‍රව්‍ය ලබාදුන් ව්‍යාපාරිකයන්ගේ අහෝසි කළ බලපත්‍ර පසුගියදා නැවත ලබා දී ඇතැයි වාර්තා වෙයි.

සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදයේ සභාපති සූර්ය කුමාර විජේරත්න ඊයේ (07) පැවසුවේ ජනාධිපතිවරණයට දින කිහිපයක් තිබියදී හිටපු ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කමල් ගුණරත්න සුදුසුකම් පරික්ෂා නොකර පුපුරන ද්‍රව්‍ය බලපත්‍ර ඔහුගේ හා දේශපාලනඥයන්ගේ හිතවතුන්ට නිකුත් කර ඇති බවයි. මෙම නව බලපත්‍රවලට අදාළව මහනුවර සහ මහව ප්‍රදේශවල මේ වන විට ගබඩා ඉදිකෙරෙමින් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.

පුපුරන ද්‍රව්‍ය ආනයනය කිරීමේදී, බෙදාහැරීමේදී සහ බලපත්‍ර නිකුත් කිරීමේදී රුපියල් බිලියන ගණනක වංචාවක් සිදුව ඇතැයි කී සභාපතිවරයා, සිදුව ඇති වංචා සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කර පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස ද ඉල්ලා සිටියේය.

සමස්ත ලංකා පුපුරන ද්‍රව්‍ය අලෙවිකරුවන්ගේ සංසදය මහනුවර පේරාදෙණිය තානායමේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සූර්ය කුමාර විජේරත්න මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *