පාතාළයට යළි පණ දීමට කිසිසේත් ඉඩ නොතබන බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.
ක්ලබ් වසන්ත ඝාතනයෙන් අනතුරුව ඇතැම් ස්ථානවල ප්‍රතිවිරුද්ධ පාතාළ කල්ලි විසින් පෝස්ටර් අලවා තිබීම සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් පොලිස්පතිවරයා මේ බව කීය.
“නැවත වතාවක් මියගිය දරුණු ගණයේ අපරාධකරුවන්ට කවුද පණදෙන්න උත්සාහ කරන්නේ කියන එක ගැන පරීක්ෂණයක් පවත්වනවා. ඒ වගේම දින කිහිපයකට පසුව නගරයේ නොයෙක් ස්ථානවල තිබිලා පාතාළයට ප්‍රතිවිරුද්ධ ආකාරයේ පෝස්ටර් කිහිපයකුත් ප්‍රදර්ශනය වෙලා තියෙනවා.
මේ සංවිධානාත්මක අපරාධ කල්ලි අතර මරා ගැනීමේ සටහනක් තමා තියෙන්නේ. එක් කණ්ඩායමකින් එක් අයෙක් මැරෙද්දි අනෙක් අය සතුටු වෙනවා. මේ රංගනය අවසන් රංගනය. මේකට කිසිසේත්ම ඉඩ තියන්නේ නෑ.
දැඟලුවොත් දඟලන අයට අවශ්‍ය ප්‍රතිඋත්තර පොලීසියෙන් ලැබෙයි. තමන්ගේ පාඩුවේ රටේ නීතියට ගරු කරලා හැමෝම ජීවත්විය යුතුයි. පෝස්ටර් ගසා ගැනීමෙන් අදහස් ප්‍රකාශ කිරීමෙන් ප්‍රදර්ශනය කරන්න එපා තමන් පාතාළයෙක් කියලා. එහෙම වුණොත් වැඩ වරදී”