යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත නිසා ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහනය අහිමිවීමේ අවදානමක් පවතින බව යුරෝපා සංගමයේ මෙරට තානාපති ඩෙනිස් ෂායික් පෙන්වා දෙයි.
යම් හෙයකින් ජී.එස්.පී. ප්ලස් දීර්ඝ කිරීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 500ට අධික වෙළෙඳ සහනයක් අහිමි වනු ඇති බව තානාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවයි.
මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රමුඛත්වයක් ලබානොදුනහොත් ජී.එස්.පී. ප්ලස් සහනය අහිමි වීමට ඉඩ ඇති බවට මෙරට ජර්මන් තානාපති කාර්යාලය ඉකුත් පෙබරවාරි මාසයේදී අනතුරු ඇඟවීමක් කර තිබූ බව ද එම නිවේදනයේ සඳහන් කර තිබේ.
එම තීරුබදු සහනය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් වන ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරේ පවතින බව ද එම නිවේදනයෙන් පෙන්වා දී ඇත. පුද්ගලයෙකු ත්‍රස්තවාදියෙකු ලෙස සලකා සිරගත කිරීමට ජනාධිපතිවරයාට මෙම පනත හරහා බලය පැවැරීම අසාමාන්‍ය ශක්තිමත් බලයක් ගොඩනැගීමක් බව ද එහි සඳහන් ය.
මෙම නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ විනිවිදභාවය හා පවතින තත්ත්වය පිළිබඳව මෙන් ම මෙම පනත හරහා ජනාධිපතිවරයා වටා බලයක් කේන්ද්‍රගත වීම යන කරුණු සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඇති බව ද යුරෝපා සංගමයේ මෙරට තානාපතිවරයා සිය නිවේදනය මගින් වැඩිදුරට ත් පෙන්වා දී තිබේ.