ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශන වාර්තාව එළියට දාන්න…! – පොහොට්ටු මන්ත්‍රීවරුන් 107ක් ජනපතිට කියති..

December 24, 2022 at 1:08 pm | by emanisa.lk

රට තුළ ඇති වූ ප්‍රචණ්ඩක්‍රියා පිළිබඳ ජනාධිපති විමර්ශන කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

පසුගිය මාර්තු 31 වන දා සිට රට තුළ ඇතිවූ ප්‍රචණ්ඩක්‍රියා විමර්ශනය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විමර්ශන කොමිසමක් පත්කරනු ලැබීය.

එහි සභාපති ලෙස හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලිට් වසන්ත කරන්නාගොඩ සහ සෙසු සාමාජිකයින් ලෙස හිටපු ගුවන්හමුදාපති මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක සහ හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායකගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුව මෙහි විමර්ශනය සිදුකර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඝාතනය කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසකගේ නිවාසවලට හානි සිදුකිරීම, ජනාධිපති මන්දිරය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් අරගලකරුවන් විසින් අත්පත් කරගැනීම හා වත්මන් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ගිනිබත් කිරීම පිළිබඳව මෙහිදී විමර්ශනයට ලක්වී ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 107 දෙනෙකු සිය අත්සන සහිතව ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියක් මගින් ඉල්ලා සිටින්නේ අදාළ විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කරන ලෙසය.

මෙම විමර්ශනයේ දී ප්‍රචණ්ඩක්‍රියා සියල්ල පාලනය කිරීමට එවකට පොලීසිය හා හමුදා අංශ අසමත් වූ බවත්, බොහෝ අවස්ථාවල හමුදා හා පොලිස් ප්‍රධානීන් පහළ නිලධාරීන්ට එම ප්‍රචණ්ඩක්‍රියා වළක්වන ලෙස උපදෙස් ලබාදී නොමැති බවත්, ඒ නිසාම අදාළ නිලධාරීන් චේතනාන්විතව සිය වගකීම් පැහැරහැර ඇති බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් යැවූ ලිපියේ වැඩි දුරටත් සඳහන් වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *