සමෘද්ධි ප්‍රතිලාභ ලබන පවුල්වලින් සියයට 33කට ආසන්න ප්‍රමාණයක් සමෘද්ධි ප්‍රතිලාභය හිමි නොවිය යුතු පවුල් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා) අනාවරණය වී ඇත.
මෙයට අමතරව ඊට සමාන පවුල් ප්‍රමාණයකට සමෘද්ධි ප්‍රතිලාභය හිමි විය යුතු වුව ද ඒ ප්‍රතිලාභය මෙතෙක් හිමි වී නොමැති බව කෝපා කමිටුව පවසයි.
මුළු දිවයිනම ආවරණය වන පරිදි 2015 සිට 2017 දක්වා කරන ලද සමීක්ෂණයකදී මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇත. සංඛ්‍යාත්මකව පවුල් 449,979 ක් සමෘද්ධි සහනාධාරයෙන් ඉවත් කළ යුතු බව එම කමිටුවේ දී සඳහන්විය.
සමෘද්ධිලාභීන් තෝරාගැනීම් කිරීමේදී අවිධිමත් ස්වභාවයක් නිරීක්ෂණය වන බව ජාතික විගණන කාර්යාලයේ නිලධාරීහු මෙහිදී පැවසූහ.
මේ පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ 2019, 2020 හා 2021 වර්ෂවල විගණකාධිපති වාර්තාවල ඇතුළත් කරුණු සහ වර්තමාන කාර්යසාධන සමාලෝචනය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ සභාපතිත්වයෙන් පසුගිය (25)වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.