නි. ඇමති කටුවට එන්න බෑ කියයි… මුදල් ඇමතිකම ඉල්ලයි… විපක්ෂ ආර්ථික ඔස්තාර් අවසන් මොහොතේ නවතී…!

May 17, 2026 at 10:36 am | by emanisa.lk

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න වෙත රජයේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන තනතුරක් පිරිනැමීම පිළිබඳව ආණ්ඩුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් පිරිස් දැඩි නොසන්සුන්තාවකට පත්ව සිටින බව වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ පාරම්පරික ජවිපෙ සාමාජිකයන් වන මෙම පිරිසට වුවමනා වී ඇත්තේ විපක්ෂයේ කිසිදු පාර්ශ්වයක් සම්බන්ධ කර නොගෙන ආණ්ඩුවේ කටයුතු තනිවම පවත්වාගෙන යාමට බවයි.

මේ අතර, විපක්ෂයේ සිටින දක්ෂයන් එකතු කරගනිමින් ආණ්ඩුව ඉදිරියට ගෙන යන බවට රජයේ බලවත් ඇමැතිවරුන් කිහිප දෙනෙකුම මෑතකදී ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබූ අතර, එම ප්‍රකාශ හේතුවෙන් ද ආණ්ඩුව තුළ සිටින ජවිපෙ පිරිස් වඩාත් කැළඹීමට පත්ව ඇතැයි වාර්තා වේ.

කෙසේ වෙතත්, පවතින ආර්ථික තත්ත්වය හමුවේ දක්ෂයකු ලෙස ප්‍රකටව සිටින විපක්ෂයේ ප්‍රමුඛ පෙළේ මන්ත්‍රීවරයකු සමඟ ආණ්ඩුව දිගු කලක සිට සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ.

මීට අමතරව, වර්තමාන ආර්ථික කරුණු පිළිබඳව නිරන්තරයෙන් විග්‍රහයන් සිදුකරන විපක්ෂයේ තවත් මන්ත්‍රීවරුන් තිදෙනෙකු සමඟ ද රජය මේ වන විටත් දැඩි සබඳතාවක් පවත්වාගෙන යමින් සිටින බව හෙළිවේ.

අදාළ විපක්ෂ මන්ත්‍රීවරයා රජයට සම්බන්ධ කරගෙන ඔහුට වගකිවයුතු ඇමැති ධුරයක් ලබා දිය යුතු බවට ආණ්ඩුව තුළ බරපතළ සාකච්ඡාවක් ආරම්භ වී ඇත්තේ මහා භාණ්ඩාගාරයේ තිබූ ඩොලර් ලක්ෂ විසිපහක මුදලක් අස්ථානගත වීමේ සිදුවීමෙන් පසුවය.

රාජ්‍ය මූල්‍ය පරිපාලනයේ සිදුවන මෙවැනි දුර්වලතා වළක්වා ගැනීම සඳහා විපක්ෂයේ සිටින පළපුරුදු දේශපාලනඥයන් මූල්‍ය කටයුතු හසුරුවන අමාත්‍යාංශවලට සම්බන්ධ කරගත යුතු බව ආණ්ඩුවේ දේශපාලන බලවතුන්ගේ මතය වී තිබේ.

ඒ අනුව, අදාළ විපක්ෂ මන්ත්‍රීවරයා වෙත මුදල් නියෝජ්‍ය ඇමැති ධුරය ලබා දීමට මුලින්ම තීරණය වී ඇත. එහෙත්, ඔහු කැමැත්තෙන් පසුවී ඇත්තේ කැබිනට් මුදල් ඇමැති ධුරය ලබා ගැනීමටය. ආණ්ඩුව ඒ සඳහා පැකිළීම නිසා, විපක්ෂ මන්ත්‍රීවරයා ද නියෝජ්‍ය ඇමැති ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

භාණ්ඩාගාරයේ මුදල් අතුරුදන් වීම පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවැති දිනයේදී මෙම මන්ත්‍රීවරයා විපක්ෂයෙන් ඉවත්ව ආණ්ඩු පක්ෂයේ අසුන් ගැනීමට සියල්ල සැලසුම් කර තිබුණ ද, අවසන් මොහොතේදී මෙම කැබිනට් ඇමැති ධුරයේ ප්‍රශ්නය මුල් කරගනිමින් ඔහු ආණ්ඩු පක්ෂයට පැමිණීමෙන් වැළකී තිබේ.

කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ, ආයෝජන කටයුතු ඇතුළු මූල්‍යමය අංශ රැසක බලතල හිමිවන සුවිශේෂී ප්‍රබල අමාත්‍යාංශයක් අලුතින්ම නිර්මාණය කර එය මෙම මන්ත්‍රීවරයා වෙත පැවරීම සඳහා ආණ්ඩුව මේ වන විටත් සාකච්ඡා පවත්වමින් සිටින බවයි.

එසේ වුවද, පවතින දේශපාලන තත්ත්වයන් මත මෙම යෝජනාව කෙරෙහි අදාළ විපක්ෂ මන්ත්‍රීවරයාගේ කැමැත්ත හෝ අකැමැත්ත මේ වන විට වෙනස් වී ඇත්දැයි යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස