පසුගිය 06 වෙනිදා හරවා යැවූ ඉන්ධන නැව නිසා තෙල් අර්බුදයක් ඇති වීමේ අවදානමක් ඇතැයි සමගි සන්ධාන ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත පවසයි.
එම තෙල් නැව යුනයිටඩ් පෙට්‍රෝලියම් පිරවුම්හල් සඳහා තෙල් ගෙන ආ නෞකාවක් බවත් මේ නිසා එම ආයතනය සතු 60කට අධික පිරවුම්හල්හි තෙල් හිඟයක් ඇති විය හැකි බවයි, ඔහු සඳහන් කළේ.
එම පිරවුම්හල් සඳහා සිපෙට්කො තෙල් ලබා දිය නොහැකි බවත් එසේ වුවහොත් සංස්ථා තෙල් සංචිතය අඩු වන බවත් ආනන්ද පාලිත පෙන්වා දෙයි.
රට පුරා යුනයිටඩ් පෙට්‍රෝලියම් පිරවුම්හල්වල තෙල් හිඟවීමත් සමග ජනතාවට වෙනත් පිරවුම්හල් සොයා ගෙන විශාල දුරක් ගෙවා යාමට සිදුවන බවත් ඔහු අවධාරණය කරයි.