නව මහ බැංකු පනත මහ බැංකු බෝම්බෙට වඩා භයානකයි! ගෙවිඳු..

April 7, 2023 at 1:17 pm | by emanisa.lk

නව මහ බැංකු පනත් කෙටුම්පතේ ඇති වගන්ති 134න් 46ක් සඳහා තුනෙන් දෙකක විශේෂ පාර්ලිමේන්තු අනුමැතියක් අවශ්‍ය යැයි මෙම පනත පිළිබඳ ඉදිරිපත් වී ඇති ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් ප්‍රකාශයට පත්ව ඇතැයි යුතුකම සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ඊයේ (06) පවසයි.

ඊට අමතරව එහි ඇතැම් වගන්ති මෙරට මූලික නීතියට සම්පූර්ණ පටහැනි බැවින් ඒවා ජනමත විචාරණයක් මගින් අනුමත විය යුතු යැයි ද එම තීන්දුවේ සඳහන්ව ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

එහෙත් මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් කිසිදු දැනුම්වත් කිරීමක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොකළ අතර එම නඩු තීන්දුවවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීමට කටයුතු නොකළ බවට ද ඔහු චෝදනා කළේය.

මෙම පනත 1996 මහ බැංකුවට එල්ල කළ ත්‍රස්ත බෝම්බයටත් වඩා භයානක බව ද මෙම පනත මඟින් මෙරට ආර්ථිකය බිඳ වැටෙන බව ද ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේය.

එහෙයින් මෙම පනත වහා ම අවලංගු කර රජය වෙනුවෙන් සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දුන් ප්‍රතිඥාවට අනුව නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බව ද හෙතෙම කීය.

රටේ ව්‍යවස්ථාව දැන දැන ම උල්ලංඝණය කිරීමට උත්සහ කළ නිලධාරීන්ට විනය පරීක්ෂණ පැවැත්විය යුතු යැයි ව්‍යවස්ථාවට පටහැනි වගන්ති 43ක් මෙම පනතට ඇතුළත් කළේ මහ බැංකු අධිපති ද, නැතිනම් මුදල් අමාත්‍යාංශ නිලධාරීන් ද නැතිනම් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැයි ප්‍රශ්න කළ ගෙවිඳු කුමාරතුංග, එසේ කළ අයගේ වැඩ තහනම් කරන ලෙස ද ඉල්ලා සිටියේය.

මෙම නව පනත මගින් සාකච්ඡා කෙරෙන්නේ ස්වාධීන මහ බැංකුවක් ගැන වන අතර විධායකයේ පාලනයට අවශ්‍ය යාන්ත්‍රණයක් මෙම කෙටුම්පතේ සාකච්ඡා වී නැතැයිද මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මූල්‍ය ප්‍රතිපත්ති සම්බන්ධව තීන්දුගන්නා ක්‍රියාවලියෙන් ඉවත් කරන කාර්යයක් මෙහි අඩංගු වී ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

මෙම ඇතැම් කරුණු සම්පූර්ණයෙන් ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවලියක් බවට මෙම නඩු තීන්දුවේ 19 වන පිටුවේ සඳහන් වී ඇතැයි ද මීට සංශෝධන පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ ගෙන එන බවට දැනුම්දුන්න ද එය අපේක්ෂා කළ හැකි දෙයක් නොවන බව ද ගෙවිඳු කුමාරතුංග ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *