රටක් විනාශ විය හැක්කේ ස්වභාවික විපත් මගින් පමණක් නොව නරක අධිකරණ පද්ධතියක් මඟින්ද ඉතා ඉක්මනින් රටක් විනාශ විය හැකි බව අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන පවසයි.
“පරමාධිපත්‍යයට ප්‍රධාන කොටස් හතරක් තියනවා. ව්‍යවස්ථාදායක බලය, විධායක බලය, අධිකරණ බලය සහ ඡන්ද බලයයි. එහිදී අප අයත් වන්නේ තුන්වැන්නටයි, එනම් ජනතාවගේ අධිකරණ බලයටයි.
එබැවින් විනිසුරුවරයෙකු ලෙස ඔබ විනිශ්චය ආසනයේ සිට ක්‍රියාත්මක කරන්නේ කුමන බලයක්ද? ජනතාවගේ අධිකරණ බලයයි. ඔබ ඒ බලය ඔබේ නිවසින් රැගෙන එන්නේ නැත. අප ඔබට බලය ලබා දෙන්නේද නැත. ඔබට බලය ලබා දෙන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව නොවේ.
එසේ නම් ඔබට බලය ලබා දෙන්නේ කවුද? ජනතාවයි. ඒ කාගේ යහපත සඳහාද? ජනතාවගේ යහපත සඳහායි. එය සැම විටම මතකයේ තබා ගත යුතුය. එබැවින් අධිකරණයේ ස්වාධීනත්වයද අයිති වන්නේ ජනතාවටයි.
අධිකරණයේ ස්වාධීනත්වය ඔබ තුළ සුරැකිය යුත්තේ ජනතාව වෙනුවෙනි, ඔබ කේන්ද්‍ර කරගත් ඔබේම පටු ප්‍රයෝජනය සඳහා පමණක් අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට නොවේ.
සමහර අය සිතනවා, “මම විනිසුරුවරයෙක්, මම ස්වාධීනයි. අධිකරණයේ ස්වාධීනත්වය කියලා දෙයක් තියෙනවා. මට ඕනෑම දෙයක් කරන්න පුළුවන්” කියා. නැත, ඔබේ කාර්යය කොතරම් දුෂ්කරද කියා බලන්න.
රටක් විනාශ වී යා හැක්කේ ස්වභාවික විපත්වලින් පමණක් නොවේ. නරක අධිකරණ පද්ධතියක් මඟින්ද රටක් විනාශ විය හැකියි. නරක අධිකරණ පද්ධතියක් ඉතා කෙටි කාලයකින් රටක් විනාශ කර දමනු ඇත. එය එසේ වුවහොත්, කිසිදු ජාත්‍යන්තර ආධාරකරුවෙකුට හෝ ජාත්‍යන්තර උපකාරයකට මේ රට නැවත ගොඩනැඟිය නොහැකි වනු ඇත.”
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මේ බව පැවසුවේ, ඊයේ (02) කොළඹ දී පැවති උත්සව අවස්ථාවක් අමතමිනි.