දේශපාලනඥයන් සතු වත්කම් සහ දේපළ පවත්වාගෙන යාම ගැටලුවක් නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
“වැදගත් වන්නේ එම වත්කම් උපයාගත් ආකාරය පිළිබඳ සාධාරණ ප්‍රකාශයක් තිබීමයි. යම් දේශපාලනඥයෙකුට තමන් සතු වත්කමක් උපයාගත් ආකාරය හෙළි කිරීමට අපොහොසත් වන්නේ නම්, එය බරපතළ ප්‍රශ්නයක්.”
වත්කම් හෙළිදරව් කිරීම හරහා එම දේපළ සාධාරණ ලෙස උපයාගත් ඒවාද යන්න තීරණය කිරීමට මහ ජනතාවට අවස්ථාව ලැබෙන බවද ඔහු අවධාරණය කළේය.
අමාත්‍ය ලාල් කාන්තගේ වත්කම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන මෙහිදී මාධ්‍යවේදීන් විමසා සිටි අතර, ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අදාළ චෝදනා එල්ල කළ පෞද්ගලික රූපවාහිනී නාලිකාවට එරෙහිව ඇමතිවරයා මේ වන විටත් එන්තරවාසියක් යවා ඇති බවත්, ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත්ය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
කෙසේ වුවද විපක්ෂයේ සිටියදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී නලින් හේවගේ ප්‍රකාශ කළේ යම් දේශපාලනඥයකු පොහොසතෙකු නම් හොරෙක් බවයි.