චින්තන ධර්මදාස සිය ෆේස්බුක් පිටුවේ තබන ලද සටහනක් පහත දැක්වෙයි.
මනුස්සයෙක් දෙවියෙක් බූතයෙක් නෙමෙයි මළ පෙරේතයෙක් ළඟට ගිහින් හරි සනීප වෙලා නං ඒකට හිනාවෙන එක අමනකමක්. අපි හැමෝටම දෙවියො ඉන්නවා. සමහරුන්ට විද්‍යාව දෙවියෙක්. අඩුම ගානෙ ලෝකෙ ගෝලාකාරයි කියන එක පවා ඇස්වලින් දැකලා නැති අපි ඒක විද්‍යාත්මක විදිහට විශ්වාස කරනවා.
විද්‍යාවෙන් හැමදේම විසඳයි කියල හිතනවා. විද්‍යා දෙවියන්ව පාවිච්චි කරලා අනිත් දෙවිවරුන්ට ගල් ගහනවා. සමරුන්ට සල්ලි දෙවියෙක්. සමහර අයට රාජපක්ෂ දෙවියෙක්. මට කංසා දෙවියෙක්. මං ඕන දේකට පිහිට ඉල්ලන්නෙ එතනින්.
තව අයට ලංකාවෙ දෙවිවරු, පිටරට දෙවිවරු එක එක දෙවිවරු ඉන්නවා. අපි අපේ දෙවියන්ගෙ බාසාවෙන් අනිත් දෙයියන්ට හිනාවෙනවා. ප්ලෙසිබෝ වගේ කියන්නෙ එහෙම කතන්දර.
කැන්සර් එකකින් අන්කිම තැනට ඇවිත් හිටපු අපේ නෑදෑ කෙනෙක් උහුලගන්න බැරි වේදනාවෙන් ඉඳගෙන රුවන්වැලි සෑය වඳින්න ඕන කිව්වා. එයාව පුටුවක තියාගෙන කට්ටිය අරගෙන ගියා. රුවන්වැලි සෑය වැඳලා ඉවර වෙලා එයා කිව්වා එයාගෙ වේදනාව කොහෙන් ගියාද නෑ කියල. එයා හිතුවෙ එයාට සනීපයි කියල. ඒත් කැන්සර් එකෙන් එයා මැරුනා. හැබැයි පේන් කිලර් මොකුත් නැතුව වේදනා නොවිඳ මැරෙන්න එයාට පුළුවන් වුනා. කැන්සර් එක සනීප වුනේ නැති වුනාට ඒ මනුස්සයා සනීප වුනා.
මිත්‍යාව පටන් ගන්නෙ විද්‍යාව ඉවර වෙන තැනින් කියන එක අපි අමතක කරනවා. එතනින් එහාට විද්‍යාව යන්නෙ නෑ. යන්න දන්නෙ නෑ. එතනින් එහාට යන්නෙ විශ්වාසය විතරයි. ඒක නැති කරන්න අපි දන්නවා කියල හිතන සීමාවෙ ඉඳන් කෑ ගහලා තේරුමක් නෑ.
කාගෙ හරි දෙවියෙක් මගේ මූනෙ අතුල්ලන්න එනවා නම් මං තල්ලු කරනවා. ඒත් හැමෝගෙම දෙවිවරුන්ට මං ගරු කරනවා. මොකද ඒ දෙවියන්ට ෆන්ක්ෂන් එකක් තියෙනවා. එයා නැත්තං ඒ වැඩේ කරන්න කෙනෙක් නෑ.
මට දෙවියො ගැන තියරිය සරලයි.
මං මගේ දෙවියන් නොමරා තියාගන්න ඕන වගේම මගේ දෙවියන්ගෙන් අනුන් නොමරන්නත් පරිස්සං වෙන්න ඕන. කාගෙ හරි දෙවි කෙනෙක් වැඩ පෙන්නුවා කියල අපේ දෙවියො කෝප වෙන්න ඕන නෑ.
චින්තන ධර්මදාස FB