දූෂණ සංජානන දර්ශකයේ අපි ඉන්නේ 121 වෙනි තැන… සෑහීමකට පත්වෙන්න බෑ..! – ජනාධිපති ලේකම්…

January 30, 2026 at 5:31 pm | by emanisa.lk

දූෂණ වංචාවලට එරෙහි ජනතා අපේක්ෂා පිළිබඳ රාජ්‍ය නිලධාරීන්ට අවබෝධයක් තිබිය යුතු බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක පවසයි.

“ජනතා නැගී සිටීම සහ ජනතා අභිලාෂ පිළිබඳ දේශපාලනඥයින් පමණක් නොව රාජ්‍ය නිලධාරීන්ටද යම් කිසි අවබෝධයක් තිබිය යුතුයි. ජනතාවට සුපිළිපන්න සේවාවක් ලබා දීමට රාජ්‍ය සේවකයින් ලෙස අප බැඳී සිටිනවා. ඒ නිසා ජනතාවට ලබා දෙන රාජ්‍ය සේවය සුපිළිපන්න කිරීම සඳහා කිසියම් ආකාරයක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අප තීරණය කළා. ඒ් ඔස්සේ තමයි අපි අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටවනු ලැබුවේ.

රාජ්‍ය නිලධාරීන් තම රාජකාරි ඉටු කරන අතරතුර ඔවුන්ගේ සුපිළිපන්නභාවය වර්ධනය කර ගැනීමට සැලකිලිමත් විය යුතුයි. එමඟින් රාජ්‍ය අංශයේ දූෂණ සංස්කෘතිය වෙනස් කළ හැකියි. අභ්‍යන්තර කටයුතු ඒකක, රාජ්‍ය සේවය තුළ සුපිළිපන්න සංස්කෘතියක් නිර්මාණය කිරීමේ ක්‍රමවේදයක්. ඒ් වගේම රාජ්‍ය නිලධාරීන්ගේ සුපිළිපන්නභාවය විමසීමට ජනතාවට පහසුකම් සලසන වේදිකාවක් ලෙසත් සැලකිය හැකියි.”

ශ්‍රී ලංකාව අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රයන්හි ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක රැඳී සිටියත් 2024 දූෂණ සංජානන දර්ශකයේ ලංකාවට හිමි වන්නේ 121වන ස්ථානය බවද ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙයි.

ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ, අල්ලස සහ දූෂණයයෙන් තොර සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැංවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට අනුව අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීමට රාජ්‍ය ආයතන 250හි ආයතන ප්‍රධානීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *