තෙල් අර්බුදයක් එන්න කලින් රටට තෙල් ටැංකි වැඩියි කී ජනාධිපති දැන් මදියි කියලා කෙඳිරි ගානවා…! – දුමින්ද දිසානායක….

March 18, 2026 at 7:37 pm | by emanisa.lk

රට ඉදිරියට ගෙන යෑමට මාලිමා ආණ්ඩුවට සැලැස්මක් සහ ඉදිරිය ගැන අවබෝධයක් නොමැති නිසා අද වන විට ඉන්ධන, ගෑස් අර්බුදයක් ඇතිවී ජනතාව අන්ත අසරණ තත්ත්වයකට තල්ලුවෙමින් තිබෙන බව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

මාලිමා ආණ්ඩුවේ නායකයින්ගේ සැබෑ නිරුවත දැන්වත් රටේ ජනතාව අවබෝධ කරගත යුතුව ඇතැයි හෙතෙම අවධාරණය කරයි.

“දැන් ඊයේ අපි දැක්කා ජනාධිපතිතුමා ජාතිය අමතලා කතා කරනවා. ඒක ඇත්තටම ජාතිය ඇමතීමක් නෙවෙයි. නිකං කෙඳිරි ගානවා වගේ එකක් තමන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කිරීමක් බව කිව යුතුයි.

එතුමා ඊයේ කියනවා තෙල් සංස්ථාව කෝටි නමසියක් පාඩුයි ඒක භාණ්ඩාගාරය භාරගන්නවා, ඒ නිසා පාඩුව පියවගන්න කොයිතරම් කාලයක් තියාගන්නවද කියලා කියන්නේ නෑ කියලා. ඉතිං අපි අහන්නේ, එහෙම නායකයෙක් රටට අවශ්‍යයද කියලා

අද රටට ගෑස් ටික හිඟ වෙලා තිබෙන්නේ මේ ආණ්ඩුවට කිසි සැලැස්මක් සහ ඉදිරිය ගැන අවබෝධයක් තිබුණේ නැති නිසයි. ඒ හේතුවෙන් අද රටේ ජනතාව අන්ත අසරණතාවයට පත්වෙලා

දැන්වත් රටේ ජනතාව දැනගන්න ඕනේ මේ ආයෙත් කියන තරමක් කියන්නේ පට්ට පල් බොරු ..
ජනාධිපතිතුමා ඊයේ කියනවා අපිට විශ්වාසවන්ත කෙනෙක්ට ටෙන්ඩර් එකක් දුන්නා කියලා ඒ කියන්නේ කලින් දීලා තිබුනේ අවිස්වාස කෙනෙක්ටද කියලා අපි අහනවා. මේ වෙනකොට ගල් අඟුරු නැව් දහඅටක් එන්න ඕන එක ඇවිත් තියෙන්නේ නැව් පහයි.

බිමල් රත්නායක ඇමතිතුමා කියනවා. අනවශ්‍ය ලෙස තෙල් රැස් කරන්න එපා කියලා. එතුමාගේ යාළුවෙක් කොවිඩ් කාලේ තියාගත්ත තෙල් තාම පාවිච්චි කරනවලු. එහෙනම් එදා කොවිඩ් කාලේ තෙල් හිඟයක් ඇති කරන්න ජවිපෙ එක උදව් කරලා තියෙනවා කියන එක බිමල් ඇමතුමා පිළිගන්න ඕන.

මේක පට්ට පල් අමූලික බොරුවක් අවුරුදු හතරක් තෙල් ගබඩා කරගන්න බෑ. කාටද මේ බොරුව කරන්නේ? තමන්ව ජනාධිපති කරවපු ජනතාවටයි මේ බොරුකරන්නේ. තමන්ගේ ආණ්ඩුවේ නොහැකියාව අද ජනතාව වෙත පවරනවා. මම ඔබට කියන්නම් ආණ්ඩුව ලබාගත් මුල් කාලයේදී ජනාධිපතිතුමා කරපු කතාවක්.

එතුමා කියනවා ලංකාවට තෙල් ගබඩා කරන්න එච්චර ටැංකි ඕනේ නෑ කියලා .ටැංකි 21 තිබුණහම ඇති කියලා. අමතක කරන්න එපා මේ කියන්නේ ආණ්ඩු බලය ලබාගත්ත ජනාධිපති. දැන් මොකද කරන්නේ? දැන් ජනතාව ඉස්සරහ කෙඳිරි ගහනවා. තෙල් ගබඩා කර ගන්න පහසුකම් නෑ කියලා කලින් හිටපු ආණ්ඩු වලට දැන් ඇඟිල්ල දික් කරනවා.

තෙල් ප්‍රශ්නෙ එන්න කලින් මෙහෙම දෙයක් වෙයිද කියලා ඇහුවහම හරි උජාරුවෙන් උත්තර දුන්නා නෑ අපිට තෙල් තියෙනවා. දැන්ම QR ඕනේ නෑ කියලා.අන්තිමේදි වැඩේ අනා ගත්තහම QR දාන්න වුණා. ඒත් ඒක හරියට ක්‍රියාත්මක කරගන්න දන්නෑ. ඔය උද්දච්චකම පැත්තකින් තියලා ඒක හදපු මහත්වරුන්ගෙන් මේවට උපදෙස් ගන්න.

යුද්දේ තවත් වැඩි වුණොත් රට මීට වඩා බරපතල තත්ත්වයකට යනවා. හැබැයි අපි අර හඳුන්නෙත්තිලා කරා වගේ මිනිස්සු බය කරන්නේ නැහැ. රටට සල්ලි එවන්න එපා කියන්නේ නෑ ..විදුලිය කපයි ලයිට් නැති වෙයි කියලා අපි කියන්නේ නැහැ.”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද ( 18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් දුමින්ද දිසානායක මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස