ජනාධිපති අනුර දිසානායක ඊයේ තමන් කළ අලුත්ම වැඩක් සේ රටට ප්‍රකාශ කළේ මීට වසර තුනකට පෙර තමා බලශක්ති අමාත්‍යවරයා ලෙස සියලු සාකච්ඡා අවසන් කොට එළඹුනු ගිවිසුමක් බව හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
තිරිකුණාමල තෙල් ටැංකි 99, 2002 වසරේ සිට ඉන්දියාවට බදු දී තිබූ බවත් ඔවුන් සමග වසරක් පමණ කේවල් කොට LIOC සමාගම භාවිත කළ තෙල් ටැංකි 14 ඔවුන්ට තව දුරටත් භාවිතයට ඉඩ දී ඉතිරි සියලු ටැංකි නැවත අපේ රටට ලබා ගැනීමට 2022 ජනවාරි 06 වෙනිදා ගිවිසුම් අත්සන් කළ බව ද හිටපු බල ශක්ති ඇමතිවරයා අවධාරණය කරයි.
එහි දී තෙල් සංස්ථාවට වෙන් කළ ටැංකි 24 අතරින් 5ක ප්‍රතිසංස්කරණ කටයුතු එකලම ආරම්භ කළ බවත් තවත් මාසයක් ඇතුළත එහි කටයුතු නිමා වන බවත් ගම්මන්පිල පෙන්වා දෙයි. පසුගියදා වර්තමාන බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඇතුළට ගොස් නිරීක්ෂණය කළේ ඉන් එකක් බවත් ඔහු සඳහන් කරයි.
2022 ජනවාරි මාසයේ ම ඉතිරි ටැංකි 66 ද තෙල් සංස්ථාවට කොටස් 51%ක් සහ LIOC සමාගමට කොටස් 49%ක් ලෙස ඉන්දු ලංකා හවුල් සමාගමක් ස්ථාපිත කිරීමට ගිවිසුම් අත්සන් කළ බව ද හිටපු ඇමතිවරයා ප්‍රකාශ කරයි.
මේ ආකාරයට මීට අවුරුදු තුනකට පෙර තමන් ආරම්භ කළ ව්‍යාපෘතියක් තමන් අලුතින් ආරම්භ කළා සේ ජනාධිපතිවරයා ඊයේ රටට හඳුන්වා දීමට උත්සාහ කළ බව ද උදය ගම්මන්පිල සඳහන් කරයි. මෙම සියලු තොරතුරු සහ ගිවිසුම ද බලශක්ති අමාත්‍යංශ වෙබ් අඩවියේ ඇති බව ද හෙතෙම වැඩි දුරටත් පෙන්වා දෙයි.
මේ ආකාරයටම හිටපු අමාත්‍ය කාංචන විජේසේකර ගෙන ආ හම්බන්තොට තෙල් පිරිපහදුව ද හිටපු අමාත්‍ය ජානක වක්කුඹුර ලාභ කළ හිඟුරාන සීනි කම්හල ද තමන්ගේ වැඩ සේ රටට පෙන්වීමට මාලිමාණ්ඩුව පසුගිය සමයේ උත්සාහ කළ බවට හිටපු ඇමැතිවරයා චෝදනා කරයි.
අනුන්ගේ දරුවන්ට උප්පැන්න හැදීම වෙනුවට තමන්ගේ දරුවක් හදා ගැනීමට උත්සාහ කරන ලෙස බොරුවෙන් බලයට පත්ව බොරුවෙන්ම දුවන්න හදන මාලිමාණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ද උදය ගම්මන්පිල වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
අද (20) පිවිතුරු හෙළ උරුම මූලස්ථානයේ දී මාධ්‍ය අමතමින් හිටපු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මේ බව කීය.