තායිලන්තයට සහ මියන්මාරයට උදව් කිරීම අපේ ඓතිහාසික වගකීමක්….! – දිලිත් ජයවීර..

March 30, 2025 at 3:50 pm | by emanisa.lk

භූමිකම්පාව නිසා විපතට පත් තායිලන්ත සහ මියන්මාර රටවලට මේ අවස්ථාවේ සහය නොදී මග හැරියහොත් එය ඓතිහාසික අකෘතඥතාවක් වනු ඇතැයි සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර පවසයි.

ඔහු සිය නිල ෆේස්බුක් ගිණුමේ තබන ලද සටහනක් පහත දැක්වෙයි.

භූමිකම්පාව හේතුවෙන් විපතට පත් තායිලන්තය සහ මියන්මාරය (පැරණි බුරුමය) ථේරවාදී බෞද්ධ රටවල් දෙකකි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව සැලකෙන්නේ ථෙරවාදී බෞද්ධ ලෝකයේ මූලස්ථානය හැටියටය. ශ්‍රී ලංකාව සහ මෙම රටවල් දෙක අතර ශාසනික හා සංස්කෘතික සබඳතාවන් වසර දෙදහසකට ආසන්න ඉතිහාසයකට යන බව තහවුරු වී තිබේ.

ලංකාව බෞද්ධ රාජ්‍යයක් හැටියට ශාසනික හා ජාතික අර්බුදවලට මුහුණ දුන් තීරණාත්මක අවස්ථාවන්වලදී මියන්මාරය සහ තායිලන්තය (සියමය) ඉතා ම කැපවීමෙන් එම අර්බුදවලින් හිස එසවීම සඳහා සහයෝගය දක්වා තිබේ. ථේරවාද බෞද්ධ ලෝකයේ ත්‍රිමූර්තිය සේ මෙම රටවල් තුන දැක්විය හැක්කේ ඒ තරමට ඒවා අතර සබඳතාවක් තිබෙන හෙයිනි.

ලංකාව තුළ චෝල අධිරාජ්‍යය පරාජය කර පොළොන්නරු රාජධානිය ස්ථාපිත කළ මහා විජයබාහු රජු ක්‍රිස්තු වර්ෂ එකොළොස් වැනි සියවසේ දී බුරුමයට (වර්තමාන මියන්මාරය) දූතයන් යවා එරටින් භික්ෂූන් වහන්සේලා වැඩම කරවා මෙරට ශාසනික පුනර් ජීවනය යළි ඇති කිරීමට ක්‍රියා කළේය. එකල බුරුමය පාලනය කළ අනුරුද්ධ රජු ඒ සඳහා සම්පූර්ණ සහයෝගය දුන්නේය. තායිලන්තය (පැරණි සියමය) සමග මහා පරාක්‍රමබාහු රජු සබඳතා පැවැත් වූ අතර එකල එරට භික්ෂූන් වහන්සේලා මෙහි වැඩම කළහ.

නුවර යුගය වන විට මෙරට පිරිසිදු මහණ උපසම්පදාව සහිත භික්ෂූන් වහන්සේ නමක් සොයාගත නොහැකි විය. ඉතිහාසය අනුව එකල විසුවේ ගණින් වහන්සේලාය. පළමුවන සහ දෙවැනි විමලධර්ම සූරිය රජවරුන්ට යළි ශාසනය නගා සිටුවීමට දැඩි අවශ්‍යතාවක් ඇතිවූ අතර ඒ සඳහා සහයෝගය දුන්නේ මියන්මාරය විසිනි. අනතුරුව කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී වැලිවිට සරණංකර සඟ රජුන්ගේ උපදෙස් පරිදි එකල සියම් දේශය නමින් හැඳින්වූ වර්තමාන තායිලන්තයට දූතයන් කණ්ඩායමක් යවා එරටින් උපාලි මහ තෙරුන් වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේ කණ්ඩායමක් වැඩම කරනු ලැබූහ.

වර්තමානයේ සියම් නිකායා නමින් හඳුන්වන මල්වතු අස්ගිරි පාර්ශ්ව ඇතුළු අනෙකුත් අනුකණ්ඩායම ඇතුළත්වන නිකාය ආරම්භ වූයේ මෙම සියම් භික්ෂූන් වහන්සේලා ගේ මග පෙන්වීම අනුව යළි මෙරට මහණ උපසම්පදාව ඇති කළ හෙයිනි. සියම් යන නමින්ම පෙනෙන හැටියට එය තායිලන්තය පදනම් කරගත් නිකායකි.

අනතුරුව පහත රට වාසය කළ භික්ෂූන් වහන්සේලා මියන්මාරයේ අමරපුර සහ රාමඤ්ඤ ඇතුළු ප්‍රදේශවලට වැඩම කර මහණ උපසම්පදාව ලබා යළි ලංකාවට වැඩම කරවා මෙහි මහණ උපසම්පදාව ඇති කළහ. අමරපුර නිකාය සහ රාමඤ්ඤ නිකාය ඇතිවූයේ ඒ අනුවය. වර්තමානය අමරපුර නිකායට අයත් කොටස් රැසක් තිබෙන අතර ඒ සියලු කොටස් ඇති වූයේ මියන්මාරය පදනම් කරගෙන. ඒ අනුව අපට පැහැදිලි වන්නේ වර්තමානයේ ලංකාවේ වැඩ වාසය කරන තුන් නිකායට අයත් භික්ෂු පරම්පරාව ඇති වී තිබෙන්නේ තායිලන්තය සහ මියන්මාරය පදනම් කරගෙන බවය.

ඒ අනුව මෙකී රටවල භික්ෂූන් වහන්සේලා ඇතුළු බෞද්ධ ජනතාව පීඩාවට පත් වී තිබෙන අවස්ථාවේ ථෙරවාදී බෞද්ධ ප්‍රධාන රටක් හැටියට අපට මගහැරිය නොහැකිය යුතුකමක් සහ වගකීමක් තිබේ. විපතට පත් මෙම රටවල් දෙක යථා තත්ත්වයට පත් කරගැනීම සඳහා හැකි සියලු ආකාරයෙන් අප සහයෝගය දැක්විය යුතුය. එසේ සහයෝගය නොදක්වා මගහැරියහොත් එය ඓතිහාසික අකෘතඥතාවක් වනු ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස