ඩිජිටල් රැකියා නිර්මාණයෙන් ආර්ථිකය ගොඩ ගන්නවා..! – සජිත්…

March 10, 2022 at 7:26 pm | by emanisa.lk

පරිගණක සහ ඩිජිටල් තාක්ෂණය ආශ්‍රිත රැකියා නිර්මාණය කිරීම තුළින් රටේ ආර්ථිකය ඉහළ දැමිය හැකි බවත්, ඊට ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සක්වළ වැඩසටහන රට පුරා ක්‍රියාත්මක කරන බවත් එය මේ වසර තුළ අවම වශයෙන් පාසල් පනහකට ව්‍යාප්ත කිරීම තම අරමුණ බව පැවසූ විපක්ෂ නායකවරයා, පරිගණක සහ ඩිජිටල් තාක්ෂණයෙන් මේ රටේ දරු පරපුර සන්නද්ධ කිරීම තම අරමුණ බව  ද පැවසීය.

නායකත්වය යනු හුදෙක් දර්ශනයක් සහිත අයෙකු වීම පමණක් නොව, එහි ඉලක්කය කරා ළඟාවීමට අවශ්‍ය දිරිය, හික්මීම හා සම්පත්ද පවත්වා ගැනීමයි යනුවෙන් අමෙරිකානු ජනපතිවරයෙක් වූ ජෝර්ජ් වොෂිංටන් මහතා පවසා ඇති බව කී විපක්ෂ නායකයා හුස්ම වැඩසටහන හරහා මේ රටේ ජනතාවට හුස්ම ගැනීමට සහ ජීවත් වීම උදෙසා ප්‍රායෝගිකව ශක්තියක් ලබාදෙන බවද කීය.

සක්වල හරහා මේ රටේ දරු පරම්පරාව බුද්ධිමත් සහ කුසලතාවෙන් පිරි පිරිසක් බවට පත් කිරීමට කටයුතු කරන බවද ඒ මහතා පැවසීය. පාසල්වලට බස්රථ ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ එම දරු දැරියන්ට පාසල් කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම බවත් පැවසූ විපක්ෂ නායකයා කවුරු විවේචනය කළත් තමන්ගේ බෙදීමේ අරමුණ වන්නේ එය බව ද පැවසීය.

යම් කිසිවෙකු කෲර ලෙස හෝ දාමරිකයෙකු ලෙස කටයුතු කරන විට දී, ඔහුගේ තත්ත්වයට අප ද ඇද වැටිය යුතු නොවන බවත් අපගේ ආදර්ශ පාඨය වනුයේ ඔවුන් පහත් තත්ත්වයට ඇද වැටෙන විට අප වඩා උසස් තත්ත්වයකට පත්වීම බවත් මිෂෙල් ඔබාමා පවසා ඇති බව කී විපක්ෂ නායකයා එය අප කාටත් ආදර්ශයක් බව ද පැවසීය.

නූතන ලෝකය තුළ දීප්තිමත් ඩිජිටල් අනාගතයක් උදෙසා මෙරට සකලවිද දරු පරපුර, තාක්ෂණික කුසලතාවෙන්ද, සුහුරු පරිගණක කුසලතාවෙන්ද, දැනුම’පදනම් කරගත්’ නවීන තාක්ෂණික සන්නද්ධ බවකින්ද සුපරිපූර්ණ කිරීම අරමුණු කොටගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක පාසල් සඳහා ඩිජිටල් පරිගණක උපකරණ ලබාදීමේ සක්වල 17 වන පියවර අද (10) පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස