ටැටූ ගැහීම ත්‍රස්තවාදය වුණාට වෙනම රාජ්‍යයක් ඉල්ලීම ත්‍රස්තවාදය නෙමෙයි… ඒක දේශපාලන මතයක් ප්‍රකාශ කිරීම විතරයිලු….!

October 22, 2026 at 12:52 pm | by emanisa.lk

වෙනම රාජ්‍යයක් හෝ ෆෙඩරල් පාලන ක්‍රමයක් ඉල්ලා සිටීම හුදෙක් දේශපාලන මතයක් ප්‍රකාශ කිරීමක් නම් එය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස සැලකිය නොහැකි බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර ප්‍රකාශ කරයි.

මෙරට තහනම් සංවිධානයක් ලෙස එල්.ටී.ටී.ඊ. සංවිධානය පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, නව පනතේ විධිවිධාන අදාළ කර ගැනීමේදී ත්‍රස්තවාදී ක්‍රියාවක් යන්න නීතිය තුළ අර්ථ දක්වා ඇති ආකාරය තීරණාත්මක වන බව පැහැදිලි කළේය.

එමෙන්ම, දේශපාලන අදහසක් ප්‍රකාශ කිරීම සහ නීතියෙන් අර්ථ දක්වා ඇති ත්‍රස්තවාදී ක්‍රියාවක් අතර වෙනස හඳුනාගත යුතු බවද අමාත්‍යවරයාගේ පැහැදිලි කිරීමෙන් අවධාරණය වේ.

“උදාහරණයකට අපි හිතමු ‘X’ කියලා අලුතින් සංවිධානයක් බිහිවෙනවා. ඒ අය කියනවා අපිට වෙනම රටක් ඕනේ කියලා, නැත්නම් වෙනම ෆෙඩරල් එකක් ඕනේ කියලා. එය ඔවුන්ගේ දේශපාලන මතයයි. මේ නව පනත යටතේ එවැනි ඉල්ලීමක් ත්‍රස්තවාදයක් හැටියට අහුවෙන්නේ නැහැ.

මොකද, නීත්‍යානුකූල දේශපාලන දේශනය ඇතුළත යම් මතයක්, විශ්වාසයක්, විවේචනයක් හෝ විරුද්ධත්වයක් ප්‍රකාශ කිරීමේ අයිතිය මෙමඟින් ආරක්ෂා කර තිබෙනවා. එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ රෙගුලාසි පැත්තකින් තිබ්බොත්, වෙනත් කිසියම් පාර්ශ්වයක් එවැනි දේශපාලන මතයක් දැරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් හැටියට අර්ථකථනය වෙන්නේ නැහැ.”

ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ දේශපාලන සංවාදයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, තහනම් සංවිධානයක තොරතුරු හුවමාරු කර ගැනීම නව පනත යටතේ කෙසේ සලකනු ලබන්නේදැයි මාධ්‍යය කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස