ජනාධිපති උපදේශක අධිකරණය නොමග ඇරලා..! උසාවිය ප්‍රතික්ෂේප කළ චෝදනාවකට යළි නඩු දාලා…!

October 27, 2022 at 6:47 am | by emanisa.lk

හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල්ට එරෙහිව කීර්ති තෙන්නකෝන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකළ නඩු අංක: 68647/4/22 දරන පෞද්ගලික පැමිණිල්ලට අදාළ නඩුව අද (26) දින හර්ෂණ කැකුලාවල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විභාගයට ගත් අතර, එහිදී හිටපු මහ බැංකු අධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මැන්දිස් කියා සිටියේ මෙම පෞද්ගලිකව ගොනුකරන ලද පැමිණිල්ලේ මූලික චෝදනාව, මීට පෙර 2021 නොවැම්බර් මාසයේදී අභියාචනාධිකරණයේදී ද විභාග කරන ලද බවයි.

එම විභාගයෙන් පසුව එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන ලද කරුණක් බවත් සම්පත් මැන්දිස් ජනාධිපති නීතීඥවරයා අධිකරණය ඉදිරියේ කරුණු පෙන්වා දුන්නේ ය. එහෙයින් චෝදනා ඉදිරිපත් කළ කීර්ති තෙන්නකෝන් අධිකරණයට පැමිණ ඇත්තේ ‘පිරිසිදු දෑත් නොමැතිව’ බව ද ඒ මහතා එහිදී පෙන්වා දුන්නේ ය.

තවදුරටත් කරුණු දක්වමින් ජනාධිපති නීතීඥවරයා කියා සිටියේ යම් පුද්ගලයෙකු ඒකපාර්ශික ව යම් තීන්දුවක් ඉල්ලා සිටින විට අධිකරණයට එළඹෙන පුද්ගලයෙකුගේ එම ඉල්ලීමට අදාළ සියලුම තොරතුරු අධිකරණයට දැනුම් දිය යුතු බවයි.

එසේ වුවද තෙන්නකෝන් ඉතා වැදගත් තොරතුරු මාලාවක් වසන් කරමින් මහේස්ත්‍රාත්තුමා නොමඟ යැවීමට කටයුතු කර ඇති බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

එම ඉල්ලීම් සලකා බලා, එම කරුණු ලිඛිතව ඉදිරිපත් කරන්න යැයි හර්ෂණ කැකුලාවල මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලද අතර, අද දින අධිකරණයේදී හිටපු මහ බැංකු අධිපති කබ්රාල් මහතා චූදිතයෙක් ලෙස සලකන නොලදී. ඒ අනුව, ඔහු විත්ති කූඩුවට පිය මැනීම ද අවශ්‍ය නොවන බවට මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේය.‍ එමෙන්ම, රු. මිලියනයක ඇප නියම කරන ලද අතර, මීළඟ නඩු දිනය 2022 නොවැම්බර් 24 ලෙසද සටහන් කරන ලදී.

තෙන්නකෝන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා පෙනී සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *