ජනාධිපති අපේ වැඩපිළිවෙළින් පිට පැන්නොත් තීන්දුවක් ගන්නවා..! – සාගර…

May 8, 2023 at 3:43 pm | by emanisa.lk

ඊළඟ ජනාධිපතිවරයා බිහිකරන්නෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් වන අතර ඒ ඇතැමුන් පවසන ආකාරයේ හොර බොරු කුමන්ත්‍රණ වලින් නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.

“මේ රටේ ඊළඟ ජනධිපති බිහිකරන්නෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්.ඒක එක එක්කෙනා කියන ආකාරයේ හොර බොරු උපක්‍රමවලින් නෙවෙයි. එළිපිට ජනතාව ඉදිරියේ බය නැතුව කියනවා. කුමන්ත්‍රණ තුළින් නායකයෝ බිහිකිරීමක් අපේ පක්ෂය තුළින් කෙරෙන්නේ නැහැ.

අපේ පක්ෂය ඉතා ම නිර්භයව ඉදිරියට ඇවිල්ල මෙන්න අපේ නායකයා, මෙන්න අපේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා, මෙන්න මේකයි අපේ ප්‍රතිපත්ති කියන දේ ජනතාව ඉදිරියේ තියල අපි නීත්‍යානුකූල විදිහට බලය ලබාගන්නවා මිසක් කුමන්ත්‍රණ හෝ වෙනත් ක්‍රම මඟින් බලය ලබාගන්න වෙනත් පක්ෂ වගේ කටයුතු කරන්නේ නැහැ.

නමුත් ඉතා පැහැදිලිව දෙයක් කියන්න ඕනේ.අපි මේ රජයේ ඉන්නේ ජනතාවාදීව මේ රටේ ජනතාවට පොරොන්දු මාලාවක් දීලා. ජනතාව බලය දුන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට. ඒ අපි විසින් ඉදිරිපත් කරපු කිසියම් වැඩපිළිවෙළක් ගැන විශ්වාසය තබල.

වත්මන් ජනාධිපතිතුමා ඇතුළු රජය එම වැඩපිළිවෙළින් වෙනත් පැත්තකට යනවා නම් ඒ ගැන සාකච්ඡා කරන්න සිදුවේවි. එහෙම තත්ත්වයක් උද්ගත වුණොත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න වේවි. නමුත් මේ වන විට නම් එහෙම තත්ත්වයක් නැහැ කියල ඉතා පැහැදිලිව කියන්න ඕනේ.”

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේ අද (08) පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් සාගර කාරියවසම් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස