ජනාධිපතිවරණයට ආයෙමත් බාල්දියක්… ශ්‍රේෂ්ඨාධීකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්….!

July 12, 2024 at 12:54 pm | by emanisa.lk

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමු කර ඉන් අනුමැතිය ලබාගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.

පෙත්සම්කරු කියා සිටින්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාව සංශෝධනය කොට තේරී පත්වෙන පාර්ලිමේන්තුවක් වසරක් ගෙවී යාමෙන් පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලය අහිමි කිරීමට කටයුතු කර ඇති බවය.

එම සංශෝධනය ජනමත විචාරණයකට යොමු කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් තීන්දු කර තිබුණ ද එය ජනමත විචාරණයකින් මේ දක්වා අනුමත වී නොමැති බව ද පෙත්සම්කරු කියා සිටියි.

එම සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත වී ජනාධිපතිවරයා ඊට අත්සන් තබා නොමැති නිසා එය නීතියක් වශයෙන් සැලකිය නොහැකි බවත් පෙත්සම්කරු පෙන්වා දී තිබේ. එසේ තිබියදී 19 වන සංශෝධනය තව දුරටත් නීතියක් වශයෙන් පිළිගෙන කටයුතු කිරීම වැරදි සහගත බවත් ඔහු පෙන්වා දෙයි.

මෙම වාතාවරණය තුළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට යටත්ව ජනාධිපතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව සූදානම් වන බවට තමන්ට තොරතුරු ලැබි ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු 19 වන සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කිරීමකින් තොරව ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බවත් පෙන්වා දෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කිරීමකින් තොරව ජනාධිපතිවරයාගේ නිල කාලය වසර පහක් ලෙස සලකා ජනාධිපතිවරණයක් පැවැත්වීමට යාම තුළින් මැතිවරණ කොමිෂන් සභාව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බවත් ඔහු චෝදනා කරයි.

මේ තුළින් මහජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සමෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය ජනමත විචාරණයකට යොමු කිරීමට පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *