ජනාධිපතිතුමා මේ අයවැයෙනුත් ජනතාවට සහන බෙදුවේ බැකෝවලින්…! – මාලිමා මන්ත්‍රීනි සීතා හේරත්..

November 19, 2026 at 6:07 pm | by emanisa.lk

සාමාන්‍ය ජනතාවට සීමිත සහන ලබාදෙමින් දේශපාලනඥයන් සහ ඉහළ පැලැන්තිය වැඩි වරප්‍රසාද භුක්ති විඳි දේශපාලන සංස්කෘතිය වත්මන් ආණ්ඩුව වෙනස් කළ බව මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා හේරත් පවසයි.

“ජනාධිපතිතුමා පැය 05ක් තිස්සේ අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ අයවැය පුරාම තිබුණේ සාමාන්‍ය ජනතාවට සහන ලබාදෙන හැටි. ජනතාවට කන් හැන්දෙන් බෙදලා ඉහළ පැලැන්තිය, දේශපාලන අධිකාරිය බැකෝවලින් බෙදාගත්ත සංස්කෘතියක් අපි දැක්කේ. දැන් ඒ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා. අපි ඉදිරිපත් කරපු අයවැය තුනෙන්ම ජනතාවට බැකෝවලින් බෙදන සංස්කෘතියක් තමයි ඇතිකරලා තියෙන්නේ.”

ආණ්ඩුවට භාර ගැනීමට සිදුවූයේ භාණ්ඩාගාරයේ මුදල් පිරුණු රටක් නොව ආර්ථිකය කඩා වැටී බංකොලොත්භාවයට පත්වූ, දැවැන්ත ණය බරකින් පීඩාවට පත්ව තිබූ රටක් බවද ඇය සිහිපත් කළාය. එවැනි අභියෝගාත්මක තත්ත්වයක සිට රට ඉදිරියට ගෙන යාමට වත්මන් ආණ්ඩුවට හැකිවූයේ නිවැරදි මූල්‍ය කළමනාකරණය නිසා බවද ඇය අවධාරණය කළාය.

1948 සිට 2022 දක්වා වසර 74ක කාලය තුළ රට නිසි ලෙස කළමනාකරණය කළේ නම් මෙවැනි ආර්ථික කඩා වැටීමකට මුහුණ දීමට සිදු නොවන බව පෙන්වා දුන් මන්ත්‍රීවරිය, විපක්ෂයේ උපදෙස් මත නොව තමන්ගේ නිවැරදි ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය මත ආණ්ඩුව ඉදිරියට යන බවද මන්ත්‍රීවරිය සඳහන් කළාය.

2027 වසර වෙනුවෙන් ඉදිරිපත් කර ඇති අයවැය සාධනීය මෙන්ම ජනතාවාදී අයවැයක් බවත්, සාමාන්‍ය ජනතාවට සහන ලබාදීම එහි ප්‍රධාන අරමුණක් බවත් පැවසූ ඇය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමිව තිබූ විශ්‍රාම වැටුප පවා අහෝසි කරගනිමින් ජනතාව වෙනුවෙන් සහන ලබාදීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව වැඩි දුරටත් ප්‍රකාශ කළාය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස